Pages

Wednesday, August 12, 2020


ආදිත්‍යා


ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව

*දහවන පිටුව* 

ආදි.. නැගිටින්න ලමයො.. 5ට පිටත් වෙනවා කිව්වා නේද.. දැන් 3ත් පහුවෙලා.. ඉක්මන් කරන්න.."

නින්දත් නොනින්දත් අතර සිටි මට කොයි මෙහොතේ නින්ද ගියාද මමවත් නෑ දන්නෙ.. කවදත් වගේම අම්මගෙ එලාම් එක තමා මගේ පිහිටට හිටියෙ..

"අම්මෝ.. නිදිමතයි.. මට සැරටම නින්ද ගිහින්නෙ.."

ලෑස්ති වෙන්නත් වෙලා යන නිසා මම ඉක්මනින් නැගිටලා වොශ් දාලා ලෑස්ති වෙන්න ගත්තෙ අනිත් අයට කලින් මම නොගියොත් ටීම් ලීඩර් එන වෙලාවද කියලා අපේ එවුන් මට නෝන්ඩි දායි කියලා බයටයි... ඊයෙ රෑ වෙලාවට ඇඳුම් බෑග් එක හැදුවේ.. විනෝදෙට කන්න බිස්කට්, සැන්විචස් එහෙමත් හදාගෙන අම්මලටත් වැඳලා මම අපේ ස්කූල් එක ලග හන්දියට ගියේ සඳුනිවත් අරගෙනමයි.. තාත්තා අපිව ඇරලවන්න බස් එක ලගට එද්දිත් ටික දෙනෙක් ඇවිල්ලයි හිටියෙ..

"ගිහිල්ලා ඇළවල් දොළවල් වල නටනවා එහෙම නෙවෙයි.. කඳු නගිද්දි බලාගෙන.. ට්‍රව්සර් එක ඇඳන් ඇවිදලා එද්දි ගවුම දාගන්න.. එහෙට ගියාම ජර්සි දාගෙනම ඉන්න.. සැරින් සැරේ අපිට කෝල් දීලා අප්ඩේට්ස් දෙන්න.. අපිත් ගන්නවා.. පරිස්සමෙන් ගිහින් එන්න.. මමනම් කැමතිම නෑ.. ඒත් යන්නම ඕනි කියනවනෙ.."

පිටත් වෙන්නත් කලින් තාත්තගෙන් උපදෙස් මාලාවක්.. තාත්තනෙ ඉතින්.. මේ ගමනට එයාගෙන් අවසර අරන් දෙන්න අම්මා සෑහෙන්න මහන්සි වුණා.. මමනෙ ඉන්න එකම කෙල්ල.. බය ඇති ඒ දෙන්නට.. ඒත් මම චූටි ලමෙක්යැ.. උසස් පෙල කරන කෙනෙක්නෙ.. ඕනවට වඩා ගෙදරින් උනත් උපදෙස් ලැබීම මේ කාලෙට වදයක් වගෙයි දැනෙන්නෙ..
සේරම ලෑස්තියි.. කට්ටියම යන්න බස් එකටත් නැගලා.. ඒත් මගෙ හිත තාමත් තියෙන්නෙ නොපිරුණු ගතියක.. සේරම හරිනෙ.. වෙනදා ට්‍රිප් එකක් යන්න ලෑස්ති වුණාම කන්නෙ බොන්නෙවත් නෑ හරියට.. ඒ තරම් හිත පිරෙන්න සතුට.. ඒත් අද විතරක් වෙනදට වඩා වෙනස් මොකද...  

"ආදී.. සේරම හරිනෙ.. වාඩි වෙයන්... යන්නැද්ද දැන් 5 පහුවෙලා.. යකූ වෙනදට ට්‍රිප් යනකොට උඹේ තියෙන සතුට අද නෑනෙ.."

මගේ වෙනස තේරුන සඳුනි මගෙන් අහද්දිත් මම හිනා වුණා විතරයි... 

"ආදි මගේ සීට් එකේ.. ජනේල අයිනෙ.. මම මෙහා පැත්තෙ.. එන්න ආදි වාඩි වෙන්න.. "

කසුන් කල් තියාම පිටිපස්සෙ දොර ලග සීට් එක අල්ලගෙන මටයි එයාටයි කියලා... මටනම් ආසාවක් නෑ.. එයාට තිබ්බට...
සේරමත් හරි යන්න බස් එක ස්ටාර්ට් කලත් මගේ ඇස් තිබුණෙ බස් එක පිටිපස්සෙන් අතුරු පාර ලග.... ඒත් මම ඇයි මෙහෙම බලන් ඉන්නෙ.. කවුරු එනකම්ද.. විකාරනෙ මට.. මම සඳුනි ගාවින් වාඩි වෙද්දි කසුන් රවාගෙන මගේ දිහා බලන් හිටියත් මට ඕනි වුණේ නෑ එයා ලග වාඩිවෙන්න.. මාව ජනේල අයිනට දාලා සඳුනි මෙහාට වුණේ මට එතන ඉඩ දීලා.. අපි අපේ චාරිකාව යන්න ආරම්භ කලා.. කොල්ලො ටිකටනම් ඊට වඩා එකක් නෑ.. හූ කියන්න ගත්තා නරි වගේ.. පිටත් වෙද්දිම... එකපාරම බස් එක බ්‍රේක් කලේ මගේ මූණ ඉස්සරහ සීට් එකේ වදිද්දියි..

"මේ ඇයි.. බස් එකට මොකක් හරි වුණාද.."

"හයියෝ.. හා හා පුරා කියලා යන්න හැදුවා මදැයි.. අපි ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක් අම්මපා.. කසුන් උඹ නේද මේ බස් එකට කතා කලේ.."

සඳුනි කසුන්ට බනින්න ගත්තෙ බස් එක කතා කරලා සෙට් කලේ කසුන් නිසා..

"යකෝ මේක කැඩෙන්නෙ නෑ.. ඊයෙත් බ්‍රේක් චෙක් කලා.. සේරම බැලුවා.. බලපං බස් එක නිකම් මාළිගාව වගේ.. ෆ්‍රී වයිෆයිත් තියෙනවා.. වෙන මොකක් හරි අවුලක්.."

තර්ක කිරීම වැඩි වෙලා කරන්න ලැබුණෙ නෑ.. එකපාරම බස් එකට කීප දෙනෙක් ඇතුල් වෙද්දි අපි හිටියෙ ඇස් උඩ තියාගෙන.. පුදුමෙන් බලාගෙන...

"මියුරු............"

මගේ තොල් හෙමිහිට මියුරුගෙ නම මුමුණද්දි මෙතෙක් වෙලා හදවතේ තිබූ නොපිරුණු තැන් සියල්ලක්ම ආවරණය වුණු බවක් දැනෙන්න වුණා...
එහෙත් මියුරුයි එයාගෙ කොමර්ස් එකේ යාලුවෝ දෙන්නයි පිටුපස්සෙන් තවත් කෙනෙක් මතු වෙද්දි එක් නිමේෂයකට සම්පූර්ණයෙන් පිරුණු හිත යම් රිදීමක් ඇති කලා කියලා දැනෙන්න ගත්තා... කවුද ඒ මියුරුලා එක්ක ආපු අනිත් කෙනා...

"පවනි....??"

හොඳින් දැකගත් පසුව මගෙ හිත ආයෙමත් හිස් වුණා වගේ දැනුණා.. ඒත් කලින් තරම්ම නම් නෑ.. බස් එකේ සීට් තිබ්බෙත් ගානට.. හැම එකකම ජනේල අයින බුක් වෙලා ඒ වෙද්දිත්.. මියුරු එක්ක ආව අනිත් දෙන්නා කෙලින්ම ගියේ පිටිපස්සෙ වහලා තියන දොර ලග පඩිපෙලට.. කොල්ලො ආස ෆුට්බෝඩ් එල්ලිලා යන්නනෙ කොහොමත්..තවත් සීට් තුනක එක් පැත්තක් පමණක් ඉතුරු වෙලා තිබුණා.. මියුරුත් පිටිපස්සට එද්දි මම බලන් හිටියෙ එයා දිහාම....

"මේ.. මියුරු.. මෙතනින් වාඩි වෙන්න.. මම යනෝ කසුන් ගාවට.. මේකි ජනේල අයින බදු අරන්.. අතන සින්දුවක් කියලා ආතල් එකේ යන්න පුළුවන්..."

එකපාරටම සඳුනි මට ඇහැකුත් ගහලා ඉක්මනින් නැගිටලා කසුන් ගාවට යද්දි මියුරු වාඩි වුණා මගේ ලගින්.. කසුන්ගෙයි සඳුනිගෙයි සීට් එක තිබුණෙ අපේ සීට් එකට එක කෙලින්.. මට හිතාගන්න බෑ කැමැත්තෙන්ම ජනේල අයින මට දීපු එකීට එකපාරම ජනේල අයිනක් ඕනි වෙලා ගියේ මොකද කියලා.. හැබෑටම පිස්සුද මේකිට... ඒ මොනවා වුණත් මියුරු මගේ ලගින් වාඩි වෙද්දි අමුතුම සතුටක් වගේම උද්යෝගයක් ඇති වුණා මට.... පවනිට වාඩිවෙන්න ඉඩ තිබ්බෙ අපේ පිටිපස්සෙ ශීට් එක.. ඒකිගෙ මූන හොඳටම අවුල් වුණා වගේ තේරුණා... ඒත් මට මොකද.. අපිව දාලා ගියාට ඕකිට යස වැඩේ.. ඒ කොහොම වෙතත් ඒකිට දැනෙන්න අපි ඒකිව දාලා එන්න හදපු ප්ලෑන් එක අවුල් වුණේ කවුරු නිසාද කියලා හිතාගන්න බෑ.. ඒත් දැන් මට දැනෙනවා.. ඒකි අාව එකත් හොඳයි කියලා.. ඒත් ඇයි මේ මගේ හොඳම යාලුවෙක්ගෙන් මෙහෙම පලිගැනීමක්... රිද්දවීමක් හිත ඉල්ලන්නෙ.. මොනව බෙදාගන්න බැරුවද.. මොනව ලබාගන්න බැරුවද.... මගෙ හිත ප්‍රශ්න කෝටියක... මියුරු අතේ එයාගෙ ගිටාර් එක...කාටවත් ආතල් ගන්න සින්දු කියන්නෙ නෑ කියලා ලොකුකම දාපු කෙනා ගිටාර් එකත් අරන් ආවෙ මොකද දන්නෙ නෑ.. ලොකුකම බැහැල වෙන්නැති.. මට අහන්නත් හිතුණා.. ඒත් නැගිටලා යයි කියලා බයකුත් දැනෙනවා...

"එන්නෙ නෑ කිව්වා නේද.. "

බොහොම හෙමින් මම ඇහුවෙ.. 

"මොකක්ද..?"

මියුරු පොඩ්ඩක් මගේ ඈතින් හිටියත් මගේ කනට එබුනෙ බස් එකේ හයියෙන් සින්දු දාලා නිසා මම අහපු දේ ඇහුනෙ නැති නිසා වෙන්නැති.. තාමත් කලුවර නිසා එයාව හරියට පේන්නෙත් නෑ.. බස් එකෙත් පාට පාට එලි තොරණ වගේ...

"මම ඇහුවෙ එන්නෙ නෑ කිව්වා නේද ට්‍රිප් එක යන්න.."

"ආ.. ඔව්.. ඒත් යාලුවෝ දෙන්නට කිව්වම යමු කිව්වා.. කාලෙකින් හිත නිදහස් වෙන්න කොහෙත්වත් ගියේ නෑනෙ.. ඒ නිසා ආවෙ.."

එයා මගේ කන ලගට කට කිට්ටු කරලා පිළිතුරු දෙද්දි මගේ අවධානය එයාගෙ ඇස්වල රැදුණා මටත් නොදැනිම....

"මොකද කන්න වගේ බලන් ඉන්නෙ.. මගේ මූණෙ පෙරහැරක් යනවද..?"

එකපාරම මියුරු ටිකක් හයියෙන් මගෙන් අහද්දි මට ගැස්සිලා ඉවත බැලුණා.. එතකොටයි තේරුණේ මම හිටියෙ වෙනන් ලොකයක් එයාගෙ ඇස් ඇතුලෙ හොය හොය කියලා.... ඇත්තටම ලැජ්ජයි මට.. පිස්සු හැදිලද මට මේ.. අනේ මොකද මේ වෙලා තියෙන්නෙ.. මට තේරුම්ගන්න බැරි මගේ හිත මට අවනත නැත්තෙ ඇයි මේ තරම්ම කියලා...

"පවනි ආවෙ ඔයා එක්කමද.."

මට ඊලගට ඇති වුණ ප්‍රශ්නය ඒක..

"නෑ.. එයා මගට ඇවිත් මැසේජ් කලා.."

"මැසේජ්...?"

පවනි මියුරුට මැසේජ් කලා කිව්වම මට ලොකු අවුලක් දැණුනා...

"ඔව්.. ඇයි මැසේජ් කරන්න බැරිද..තහනමක් නෑනෙ.."

"හා ඔව් ඔව්.. මම බැලුවෙ ඔයාලා නම්බර්ස් මාරු කරගෙන නිසා.. පුදුම හිතුණා.."

"ඇයි පුදුම...?"

"නිකං.."

"එයා මට නිතරම වගේ මැසේජ් එවනවා.. මොකක්ද හලෝ එකට හිටපු යාලුවව දාලා ට්‍රිප් එන්නෙ.. එයා සෑහෙන්න දුක් වුණා.. ඉතින් මම කිව්වා යමු කියලා.. මම කියන නිසා එයා එන්නම් කිව්වා.. හිතුවෙ නෑ පිටින් ආව අයට කෙසේ වෙතත් යාලුවන්ටත් ඔහොම කරයි කියලා.."

මියුරු මට දොස් කියද්දි මට පවනි ගැන ඇතිවුණේ පුදුම තරහක්.. මේකි නැති ඒවත් අතින් දාලා කියලා දුක පෙන්නලා බොරුවට.. අපි ගැන ඔච්චර දුක නම් මොකටද උඩ දාගෙන ආර්ට් එකෙන් කොමර්ස් එකට පැන්නෙ.. මට අහන්නත් හිතයි ඕකිගෙන්..

"ඉතින් එහෙනම් එයා මොකද කොමර්ස් එකට මාරු වුණේ.. අපි එක්ක ඉන්න තිබ්බනෙ.. අපි ව එපා නිසානෙ දාලා ගියේ.."

මගේ පිලිතුර වුණේ ඒක...

"ඉතින් ලමයෝ.. ඒක ඒ ලමයගෙ කැමැත්තනෙ.. එයාට පුළුවන් විෂයකින් එයා ගියාම අනිත් අය මොකට වද වෙනවද..තමන්ට බැරි දේට පුළුවන් කෙනාට ඉරිසියා නොකර ඉන්න.."

මියුරුගෙ උපදෙස් නම් ඉතින් අපෙ තාත්තට අන්තයි.. 

"අනේ මේ අපේ යාලුවගෙ පැත්ත අරන් කතා කරන්නෙ මොකද ඔයා.. පුදුම ආදරයක් දෙන්නගෙ තියෙන්නෙ.. එයාට මොනා හරි කියනකොට මෙයාට රිදෙන්නෙ..,"

මගේ කටින් පිටවෙන සමහර වචන මට හිතෙනවා ඒවා ඇතුලෙ තියෙන්නෙ තනිකරම ඉරිසියාවද කියලත්...

"අනේ මේ ඔයා හිතනව වගේ එකක් නෑ.. එයා මට උදව් කලා.. මාත් එයාට පාඩම් වැඩවලට උදව් කරනවා.. එයා මගේ හොඳ යාළුවෙක් එච්චරයි.."

අවසානෙදි අපේ තර්ක බිඳුණේ සීතල කඳුකර මැදින් ලස්සන චමත්කාර පරිසරයකින් යුත් සුන්දර පලාතට ඇතුල් වෙද්දී.. මෙතෙක් වෙලා නොතිබුණ අමුතුම සිසිලසක් මුසු කරගත් සුළං පොදක් ගතේ දැවටෙද්දි.. හිමිදිරි උදයේ ජනෙල් කවුළුවෙන් හීතල සුළඟ හමාඑද්දි ගතට දැනුනු සුවය වචන කල නොහැකි තරම්.. මගේ අත් දෙක බැඳගෙන උරහිස දෙක බෙල්ලට ලං කර ගත්තේ සීතල නිසාමයි... උදෑසන ආහාර ගැනීමට අපි තීරණය කර තිබුණේ සුන්දර ග්‍රෙගරි වැව් තාවුල්ලේ සිටයි... වටපිටාවේ සුන්දරත්වය දෑස්වලින් විදිමින් කඳු පල්ලම් තරණය කර අපි හෙමින් හෙමින් ඇදුණේ ඒ සුන්දර ප්‍රදේශය වෙතයි.. මෙතෙක් වෙලා තම උකුලෙහි තබා තිබූ ගිටාරය මියුරු තම දෝතට ගත්තේ මේ දැනෙන හැගීම වචන කර ගයන්නට විය හැකී..සීතල නිසාම වියළුණු දෙතොල් එකිනෙක පටලුවුණේ පද පෙළක් මිමිණෙන්නටයි... මගේ ඇස් මියුරුගෙ දෙතොලග නතර වූයේ සමහරවිට සීතල සුලඟ ගතේ දැවටෙද්දි තරුණියගෙ යොවුන් හැඟුමන් පිබිදෙන්නට වූ නිසා විය හැකී.. අඳුර පහවී එළිය වැටී තියෙද්දි මම හරියටම දැක්කා මියුරුගෙ මූණ.. අද වෙනද දකිනවට වඩා වෙනස් වගේ පේන්නේ, දැනෙන්නෙ මට.. අද නම් මාර හැන්ඩ්සම්.. මගේ හිතත් එයා ලගම නතර වෙලා වගේ දැන්.. මියුරු දිහාම බලන් ඉදපු මගේ චමත්කාර හැඟීම් බලාපොරොත්තු වූයේ මියුරුගෙ මියුරු ස්වරය මගේ හදවත ස්පර්ශ කරන තුරුයි....

ඉදිරියට...............

................................................................................

* කතාවේ තවත් එක් පිටුවක් පෙරලෙද්දි සුන්දර නුවරඑළිය බලන්න කට්ටිය එනගමන්.. සඳුනිට මොකක් හෝ දෙයක පෙර නිමිත්තක් දැනිලද මන්දා මියුරු ආදි ගාවින් වාඩි කරවලා අයින් වුණා.. ආදි අවසන් මොහොත තෙක් බලාපොරොත්තු වූ මියුරුගේ පැමිණීම ඉෂ්ඨ වුණත් පවනිත් ඇවිත්.. කසුනුත් ආදිගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් ආවා වෙන්න පුළුවන්.. මියුරු කසුන්ට තමන්ගෙ සිතැඟි ඉටු කර ගන්න ඉඩ දෙයිද.. ආදි බලාගෙන සිටින මියුරුගේ ගී පදවැල් සිසිලස විඳින මේ මොහොතේ කොහොම අමුණාවිද.. ආදිට දැනෙයිද.. පවනිට රිදෙයිද, කසුන්ට කේන්ති ඒවිද.. අවසානයේ චාරිකාවේ අවසන් ප්‍රතිඵලය කෙසේ වේවිද.. ඊලග කොටසින් බලමු.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru

No comments:

Post a Comment