Pages

Saturday, July 11, 2020


නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*තිස් තුන් වන දිගහැරැම*
 (අවසන් දිගහැරැම)

 ලියාගන්න හෝ නොහැකි තරම් අතැගිලි වෙව්ලන ආකාරයෙන් යන්තම් අකුරෙන් අකුර ගලපා හරි ආදරෙයන් වචන ගලපා මට ආමන්ත්‍රණය කර ඇත්තේ උතුරන සෙනෙහසකින්... 
තවත් පහලට එලෙසම අමාරැවෙන් වචන ගලපා මට කියන්නට උත්සහ කර ඇත්තේ මොනවද.. ඉස්සරහට තාත්තගෙ ඒ හැගීම දිගටම පෙලගස්වා තිබුණා හැගීම් ගොන්නක එකතුවක් ලෙසින්...

"මැණික.., ඔයාට මේ ලියුම හම්බෙනකොට ඔයාගෙ තාත්තා මේ ලෝකෙන් සදහටම ගිහින් තියේවි.. මට ඔයා එක්ක ගත කරන්න හම්බ වුනේ පුංචි කාලයක් කියලයි මට හිතෙන්නෙ.. ජීවිතේ සැදෑ සමය ඔයා එක්ක නිදහසේ ගත කරන්න ප්ලෑන් කරන් හිටියට දෙෙවය මට හරස් වුණා මැණික... එදා ඔයාලගෙ එන්ගේජ්මන්ට් එක කැඩෙද්දි ඔයා විඳපු වේදනාව වීඩියෝ කෝල් එකෙන් මම දැක්කා මගේ දූ.. එවලෙ මම ඔයා ලග හිටියනම් කියලා හිතුණා.. ඒත් තාත්තා ඒ වෙද්දිත් ගොඩක් අසනීපෙන් හිටියෙ මගෙ දූ.. අවසාන පාරට ලංකාවට ආවෙ ලොකු වැඩ ටිකක් කරන්න.. මම ලංකාවට ඇවිත් දවස් තුනකට පස්සෙයි ගෙදර ආවෙ.. ඒක කවුරැත්ම දන්නෙ නෑ දූ.. හැමදේම හරිගස්සලා ඔයා එක්ක කාලෙ ගත කරලා යන්න ආස හිතුණා.. මැරෙන්න කලින් ඔය අහිංසක මූණෙ හිනාවක් දකින්න ආස හිතුණා.. වැදගත් දෙයක් තියනවා මගෙ දූ.. අකුරැ කරගන්න බැරි තරම් වේදනාවක් ඒක... මට සමාවෙන්න මගෙ දූ.. මම කරපු පව මට ගෙවන්න මේ කරපු පිං මදිවෙයි.. මගෙ දුවට තාත්තෙක්, අම්මෙක් ලග හැදෙන්න ඒ සෙනෙහස ඒ විදිහටම දෙන්න මට බැරි වුණා.. ඔයාගෙ අම්මා කවුද කියලා ඔයාගෙන් විතරක් නෙවෙයි මට නිලන්තිගෙන් පවා හංගන්න සිද්ධවුණා..  ඒ ඔයාගෙම ආරක්ෂාවට මගෙ දූ.. තාත්තට සමාව දෙන්න.. බිහිකරපු අම්මා ගැන ජාතක කරපු තාත්තා ගැන ඔයාට දැන ගන්න තිබ්බ අයිතිය ඔයාගෙන් උදුරගත්තට... මගෙ දූට කතාවක් කියන්නම්.. මම දන්නෙ නෑ දූ මට සමාවක් දෙයිද කියලා.. ඒත් මගෙ දූ මට සමාව දෙන්න.. මේ කතාව අහලා ජාති ජාතිත් වෙෙර කරන්නෙපා මට..." 

පහලට පහලට කියවමින් එද්දි එකම තැනක තාත්තා හිරවෙලා ඉන්න බවක් මට තේරැණා.. තාත්තට මම වෙෙර කරයි කියලා තාත්තා හිතන තරම් දෙයක් තියෙනවද.. මෙච්චර ආදරේ දීපු තාත්තට වෙෙර කරන්න බෑනෙ මට තාත්තා මොනවද කියන්න හදන්නෙ.. වැටෙන කඳුළු පිසදාගෙන නැවත වරක් ලිපිය කියවන්න වුණේ හිතේ තියෙන කුතුහලයන් බිඳලන්නයි...

"මගෙ දූ.. ඔයාගෙ අම්මා ගැන ඔයා දැන ගත්ත නේද.. අද දැනගනී මගෙ දූ දූගෙ ඇත්තම තාත්තා කවුද කියලා.. සියදහස් වතාවක් සමාවෙන්න මගෙ දූ.... මේ තාත්තට මගෙ දූගේ ලේවල සාක්ෂිය දෙන්න බැරි වුණාට.. මගෙ පණ.. ඔයාගෙ ඇඟේ දුවන්නෙත් මගේ ලේමයි මගෙ දූ... ඔයාගෙ තාත්තා,, ඇත්තම තාත්තා.. ඔයාව ජාතක කරපු තාත්තා වෙන කවුරැවත් නෙවෙයි මේ මමයි.. අවුරැදු විසි පහකටත් වඩා කාලයක් මගෙ ඇස් දෙක වගේ ඔයාව රැක්ක තාත්තා තමයි ඔයාගෙම තාත්තා.. ජාතක කරපු තාත්තා.. මෙච්චරකල් ඒ දෙවල් හැංගුවේ මගෙ දූගේම හොඳටයි.. සිය දහස් වතාවක් සමාවෙන්න දූ.. වෙෙර කරන්නෙපා දූගෙම ලේ වලට...."
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තවත් ඉදිරියට ලිපිය කියවගන්න බැරි සේ මම ගල් ගැහී බලන් හිටියේ අවට කිසිම හඬක් හෝ නොඇසෙන තරම් වේදනා සයුරක අතරමං වුණු නිසාවෙන්.. දෙවියනේ මගෙ තාත්තා... එතකොට මෙච්චර කාලයක් පණ දෙවනි කරලා මට ජීවිතේ දීපු ඔයාමද මේ... ඇයි මගෙන් හැංගුවේ මගෙ තාත්තෙ... සත්තකින්ම.. මට හිතුණ වාර අනන්තයි.. මම ඔයාගෙම දුව නොවුණද කියලා.. ඒ තරම් සෙනෙහසක් මට ඔයාගෙන් දැනෙද්දි, මට ඔයා ගැන දැනෙද්දි.. මට හිතුණා.. ඔයා මගෙම තාත්තාද.. මම ඔයාගෙම දූද කියලා.. අනේ ඇයි මගෙ තාත්තෙ එකම වතාවක් මට ඒක ඔයා ජීවත් වෙලා ඉද්දි නොකිව්වෙ.. ඇයි... ඇයි.. ඇයි.. මගෙ අම්ම ගැන හිතුවද ඔයා.. එයා දුක් විඳිනවා තාත්තෙ... ඇයි අපිට මේ හැම දේපලකම අතෑරලා එකට ඉන්න බැරි වුණේ.. ඔයාට මේ තරම් ආදරේ කරන සදිසිට ඇයි ඒ ආදරේ හේතුව වත් නොදැනෙන්න ඉඩ ඇරියේ තාත්තෙ.. ඔයාගෙන් අහන්න මට ගොඩක් දේවල් තියෙනවා.. ඒත් ඇයි මාව දාලා යන්න ගියේ.. එකම වතාවක්.. එකම එක වතාවක්.. ඇයි මම තුරැලු වෙන්නෙ මගෙම තාත්තට කියලා ඔයා කිව්වෙ නැත්තෙ.. මම මොන තරම් පව්කාරද.. තාත්තා මගේ ලග ඉදලත්.. පිය සෙනෙහස නොඅඩුව ලැබිලත් මගෙ තාත්තා මගෙන් වෙන් වෙලා යන කල්ම මට සෙනෙහස ලැබුණේ ඇත්තම තාත්තගෙන් කියලා දැනගෙන ඒ සෙනෙහස විඳින්න බැරි වුණේ....
එහෙමම ලියුම අතේ තියන් පුටුවෙන් ඉබේම ඉන්දවුණේ කඳුළු විතරක් දෙනෙතෙහි රඳවමින්.. ප්‍රශ්න විතරක් හදවතේ එකතු කරමින්... ඉකි ගසමින් මගේ කටින් ඉබේම වචන පිටවෙද්දි අම්මා, නංගි සහ සන්දීප් පුදුමයෙන් වගේ බලන් ඉද්දි මැණිකෙ නැන්දත් කඳුළු හලමින් මගේ ලගින්ම වාඩි වුණා...

"ස..දි..සි.. මොනවද ඔයා කියන්නෙ.. ඒක ඇත්තක්ද.. කෝ ලියුම දෙන්න.."

සන්දීප් පුදුම වී මගෙන් ලියුම ඇදලා ගද්දී මගෙන් ලියුම ගිලිහුණ බව වත් නෑ සිහියක් මට...

"ඇත්ත තමයි.. එඩ්වඩ් අංකල් තමයි සදිසිගෙ ඇත්තම තාත්තත්.. අනේ ඒක තමයි.. මට ඔයාව භාරදීලා එයා බලාගත්තටත් වඩා හොඳින් බලාගන්න කියලා වගකීම මට දුන්නෙ.. නිකමටවත් මට හිතුණෙ නෑනෙ.. සවින්දිගෙයි ඔයාගෙයි ලේ මැච් වෙද්දි ඔයත් එඩ්වඩ් අංකල්ගෙ දුවෙක් කියලා.. දැන් ඇති මැණික ඇඬුවා.. දැන් අම්මවත් දන්නවනෙ.. තාත්තා ගැනත් දන්නවා.. හැම කුතුහලයම හරිනෙ.."

සන්දීප් මගේ හිත හදන්න උත්සහ කලත් තාත්තාගෙන් මගෙ අම්මගෙ කුසට මම ආවෙ කොහොමද.., එයාලා දැන අඳුරන්නෙ කොහොමද.., දැන් වේදනාව එක්ක කුතුහලය තවත් වැඩී.. අම්මගෙයි නංගිගෙයි ඇස් ලොකු වෙලා තිබ්බෙ මේ දෙවල් මටත් වඩා එයාලට පුදුම නිසා වෙන්න ඇති...

"නෝ.. ඉට්'ස් ඉම්පොසිබල්... මේක කොහොමවත් වෙන්න බෑ.. එඩ්වඩ් ට සවින්දිට අමතර ව තව දරැවෙක්.. ඒක වෙන්නෙ කොහොමද.. මට පුංචි හරි ඉගියක් නොතේරෙන්න තරම්.. ඕ නෝ.. සදිසි කවුද අම්මා තමුන්ගෙ ආ..?"

"ස්..නෙ..හා.."

අම්මා මගේ ලගටම ඇවිත් සැරෙන් වගේ අහද්ද මට ඉබේටම පිට වුණා අම්මගෙ නම..

"වට්.. ඒ ජරා ගෑනිද.. ශික්.. මමත් කරපු මෝඩ කමක්.. කොහොම හරි එඩ්වඩ් ව දැලේ දාගෙන බඩට ලමෙකුත් හදාගෙන.. ලැජ්ජාවක් නැති ගෑනියෙක්.. නියපොත්තෙන් කඩන්න තිබුණ දේ මමත් තියාගත්තනෙ දැන් පොරවෙන්වත් කපන්න බැරි තරම් දරැණු වෙලා..."

අම්මා මගෙ ස්නේහා අම්මට ජරා විදිහට බනිද්දි කඳුළු නතර වෙන්න තරම් පුදුමයක් ඇතිවුණේ.. අම්මා මගේ අම්මව දන්නවද.. මොකක්ද මේ නියපොත්තෙන් කඩන්න තිබුණ දේ.. අනේ මොනවද දෙවියනේ මේ වෙන්නෙ.. මගෙ ඔළුව අවුල් වෙලා තියෙද්දි ආපහුම වතාවක් ලියුම අතට ගත්තේ ප්‍රෙහෙලිකාවන් විසදගන්නයි...

සදිසි මැණික.. මම දන්නවා.. ඔයාට දැන් ප්‍රශ්න කෝටියක් එක්ක ලොකු දුකක් පසුතැවීමක් හිතේ ඇති.. මට සමාවෙන්න මගෙ දූ.. ඔයාට අද ඔච්චරම ප්‍රශ්න වේදනාවල් දුන්නෙ මම.. මැරෙනකම්ම මම විදෙව්වා මගෙ දූ.. මම ඒ කල පවට මැරෙනකම්ම පසුතැවුණා මගෙ දූ... මට සමාවෙන්න කෝටි වාරයක්.. මගෙ වරද හදාගන්න ඔයාගෙ අම්මට රිද්දලා ඔයාව මගේ ලගට ගන්න වුණා මගෙ දූ.. ඔයාට තියෙන්නෙ ඔයාගෙ අම්මගෙම ධෙෙර්ය දූ.. එයාගෙ ආදරේ නැති වුණත් දරාගත්තා.. අවසානෙ දස මසක් කුසේ තියලා මේ ලෝකෙට බිහි කරපු අම්මෙක්ගෙන් දරැවාව වෙන් කරන පවත් මම කලා.. මගේ කකුල් දෙක මුල වැඳ වැටිලා ඒ අහිංසකී ඔයාව දෙන්න බෑ කියද්දිත් ලමා නිවාසෙ සුදු අම්මා ලවා තේරැම් කරවලා ඔයාව මගේ ලගට ගත්තා නිලන්තිටවත් නොදැනෙන්න... මගෙන් ඔයාට වුණ වරද හදාගන්න ඕන වුණා මගෙ දූ.. ඔයාගෙ උප්පැන්නට මගෙ නම දෙන්න ඕන වුණා මගෙ දූ.. අනාථ වෙන්න දෙන්න බැරි වුණා මගෙ දූ.. ඔයාගෙ අම්මා නොසෑහෙන්න දුක් වින්දා.. එයාට මම ගේකුත් අරන් දෙන්න හදද්දි එයා හැමදේම රිජෙක්ට් කලා මගෙ දූ.. මොනව කරන්නද.. එයා සැප හෙව්වෙ නෑ.. එයාට මාවත්, ඔයාවත් දෙන්නම අහිමි වුණාම භෟතික දේවල් වලින් වැඩක් නෑ කියල හිතුවෙ එයා.. ඒකත් ඇත්ත මගෙ දූ.. මම ඒ අහිංසකීට දීපු ගින්දරට ජීවිත කාලෙම පසුතැවුණා මගෙ දූ.. ලංකාවෙ ඉන්න බැරි තරම්ම පසුතැවුනා.. ඒකයි ඕස්ට්‍රේලියාවලට වෙලා තනියම විදෙව්වෙ... ඔයාලා එක්කම අම්මටත් එන්න ඕස්ට්‍රේලියාවල හැමදේම හරිගැස්සුවා.. මේ ලියුම එක්ක ලෝයර් දෙන ඩොකියුමන්ට්ස් ගන්න මගෙ දූ.. මම ඔයාගෙම තාත්තා කියලා කියන්න බැරි වුණාට මගෙ දුවයි, අම්මයි වෙනුවෙන් මගේ ලග මම හම්බ කරපු දායාද මම දුන්නා මගෙ දූ.. තාත්තා ඔයයි අම්මයි වෙනුවෙන් හම්බ කරපු දේවල් ඔයාට දුන්නා මගෙ දූ.. භාරගන්න.. මගෙ දූ අම්මවත් එයා විදින දුකෙන් මුදවගන්න.. දිගටම බිස්නස් ගැන ඉගෙන ගෙන දුව මට පොරොන්දු වුණ විදිහට තාත්තා හදාගත්ත නම රකින්න.. මට වඩා හොඳ ගුණගරැක අවංක ව්‍යාපාරිකාවක් වෙන්න...  මගෙ දුවගෙ අම්මා ගොඩක් දුක් වින්දා දැන්වත් ඒ අත්වලට නිදහසක් දෙන්න මගෙ දූ.. දවසක මගෙ දුව තාත්තගෙ නම ඉදිරියට අරන් යයි.. තාත්තාට ඒක ඉරහඳ වගේ විශ්වසයි.. ඒ වගෙම අම්මයි නංගි යි නිසා විඳපු හැම දුකකටම මට සමාවෙන්න.. මමයි ඔයාට ඒ දවස උදා කලේ.. සමාව දෙන්න.. ඔයාගෙ මූණෙන් හැමදාම මම ඔයාගෙ අම්මව දැක්කා... මාවත් දැක්කා.. මගේ පණ ඔයා.. සන්දීප් පුතා හොඳ කෙනෙක් මගෙ දුවව ඇස් දෙක වගේ පරිස්සම් කරාවි.. තාත්තා තරම්ම.. අම්මව බලාගන්න.. අදටත් ආදරෙයි ඔයාගෙ අම්මට එදා වගේම.. මගේ අතින් එයාට වුණ වරදට සමාව ඉල්ලුවා කියන්න... සතුටින් ඉන්න අම්මයි සන්දීපුයි එක්ක... තාත්තා හැමදාම ආදරෙයි.. ඊලග ආත්මෙත් මගෙ දුව මගේම වෙලා ඉපදෙන්න ඕන.... ඒකත් ලෝකෙට වසන් කරගෙන තාත්තා බව හංගලා නෙවෙයි.. ලෝකෙටම මේ මගේම දුව කියන්න පුළුවන් විදිහට.. තාත්තා මේ ආත්මෙ කරපු වරද හදාගන්න ට්‍රයි කලා මගෙ දූ..එකම වතාවක් සමාව දෙන්න මගෙ දූ.. ආදරෙයි මගෙ සදිසි මැණික.. මැරැණත් ඔයා ලගම ඉදන් ඔයාව රකිනවා මම.. ඒක මටම වෙන පොරොන්දුවක්.. හැමදාම ඔයා එක්ක ඉන්නවා මම.. මට අමාරැයි මගෙ දූ... මගෙ රත්තරන් සදිසි මැණික... මට සමාවෙන්න ආයෙම වතාවක්... අම්මව බලාගන්න... ඔයා ලගම තියාගෙන... 
එහෙනම් මම නවතින්නම්.. මේ මගෙ මැණිකට ආදරෙයි කියන අවසන් වතාව.. මගෙ සදිසි මැණික මතු උපදින හැම භවයකම මගේම දුව වෙන්න ඔයා.. ආදරෙයි මැණික තාත්තා ගොඩක්.... සදහටම තිත තියන්නම් මම දැන්.. අපේ කතාවේ මගේ චරිතයට...
පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි.. මගෙ රත්තරන් දූ..!!!!

තාත්තා අකුරැ කරපු ලියුම කියවලා අවසානයේ මට තේරැණේ තාත්තා අපිව දාලා යන තෙක්ම සිදුවුණු දේවල් ගැන පසුතැවිලි වුණු වග.. එයා අතින් වුණු වරද නිවැරදි කරගන්න නොකරපු දෙයක් නැති බව.. පිය සෙනෙහස මට නොඅඩුව දුන් වග.. අදටත් මගෙම අම්මටයි මටයි පණ සේම ආදරේ බව.. අනේ මෙච්චර මට ආදරේ දීපු, මම ගැන හොයලා බලපු මෙච්චර දායාද මං වෙනුවෙන් වෙන් කරපු, මැරෙනකම්ම මාව රැකපු ඔයාට කොහොම වෙෙර කරන්නද මම.. ඇස්වල කඳුළු පුරවන් මම දිව්වේ ජීවත්ව සිටින තාක්කල් මට මගේම තාත්තා කියලා මගේම ලේ කියලා නොදැන තුරැලු වුණු තාත්තගෙ සොහොන් කොතට තුරැලු වී මගෙ සෙනෙහස එයා නමින් තියෙන මහමෙරක් තරම්ම කෑගහලා ලෝකෙටම ඇහෙන්න කියන්න.. මම අනාථ කෙල්ලෙක් නෙවෙයි කියලා... මගෙම තාත්තා එයා කියලා... කියන්න ඕන වුණා එයාට හීනෙකින්වත් මම එයාට වෙෙර කරන්නෙ නෑ කියලා...
මම තාත්තගෙ සොහොන ලගට දුවද්දිත් එතන කවුදෝ ගෑනු කෙනෙක් තාත්තගෙ සොහොන ලග වැතිරී ඉන්නවා මම දැක්කා.. 

"අම්....මා..."

අනේ ඒ මගෙ අම්මා.. තාත්තට කොපමණ ආදරේ කලත් එයාට ඒ ආදරේ තමන්ගෙම කරගන්න බැරැව පැත්තකට වෙලා විඳෙව්වා.. ඒ මදිවට එයාගෙ කුසින් බිහි කරපු මාවත් එයාට නැති වුණා.. අද එයා ආදරේ කරපු තාත්තගෙ නිසල දේහයටවත් අවසන් ගෞරව දක්වන්න තරම්.. අවසාන වතාවටවත් එයාගෙ මූණවත් බලන්න බැරි තරම් මගෙ අම්මා අසරණ වෙලා.. ඒ හිතේ කොච්චර දුකක් ඇත්ද.. දෙවියනේ.. මගෙ අම්මා කොහොම දරාගත්තද මේ දේවල්...

"මගෙ දුව.. සදිසි.. අනේ තා..ත්තා.. මේ.. ඔයාගෙ.. හැංගුවා ලෝකෙන්.. මට.. සමාවෙන්න.. මට.. තාත්තාවත් නැති වුණා ඔයාවත් නැති වුණා.. අනේ තාත්තව අවසාන වතාවටවත් දකින්න බැරි වුණා දෙවියනේ මට.."

අම්මා මාව බදාගෙන අඬන්න ගත්තේ මෙච්චර කාලයක් හිර කරන් හිටපු හිතේ ලොකු බරක් නිදහස් කරනවා වගෙයි... 

"මම දන්නවා අම්මා.. තාත්තා.. අපිට ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති කරලා..  අනේ මට එයා මාව දාලා යනකම්ම මගෙම තාත්තා කියලා දැනගන්න බැරි වුණානෙ.. ඇයි අම්මෙ අපි තුන් දෙනාට එකට ඉන්න වාසනාව නැති වුණේ.. ගිය ආත්මෙ අපි තුන්දෙනා එකම පවුලක් වෙලා ඉදන් කුරැළු කූඩුවක් වත් බිඳලා දැම්මද දන්නෙ නෑ අම්මෙ.. ඒකනෙ අපිට මේ ආත්මේ අපේ වෙන්න
: බැරි වුණේ... මම තාත්තට එදත් ආදරේ කලා.. අම්මා කිව්වනෙ එදා.. තාත්තා ගැන මම ඇහුවම තාත්තට කවදාවත් වෙෙර කරන්නෙපා කියලා.. කොහොම වෙෙර කරන්නද මම.. අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරේ තනියම මට දීපු ඒ තාත්තට...."

"මම තේරැම්ගත්තා දෝණි මං ගාව ඉන්නවට වඩා ආරක්ෂාවක් එයා ගාව ඔයාට තියෙනවා කියලා..  ඒකයි අඬලා අඬලා මගෙ රත්තරන් දෝණිව මගේ මේ අත් දෙකෙන් සුදු අම්මා අතට දුන්නේ.. එදයි මට මගේ මුළු ලෝකෙම නැති වුණේ.. මගෙ ඉස්සරහ මගෙ මුළු ආත්මෙම කඩා වැටුණේ.. එදයින් පස්සෙ දූගෙ ඉදිරියට නාවෙ ඒ ලැබෙන සැප සම්පත් මට ඔයාට දෙන්න බැරි නිසා.. ඔයත් ගෙදරක වලං හෝදන කෙල්ලෙක් කරන්න බැරි නිසා.. තාත්තා මට සාප කරයි එහෙම වුණනම්.."

අම්මා කතා කලේ ගොඩාක් ලොකු වේදනාවකින්..මාව බදාගෙන මෙතෙක් වෙලා අඬපු අම්මා එකපාරම නැගී සිටිද්දි මමත් පිටුපස බැලුවේ කවුද ආවෙ කියලයි..

"මැණි..කෙ.. අක්..කා..."

"ස්නේහා.. නෝනා.."

අම්මා මැණිකෙ නැන්දව තදින් බදාගෙන අඬද්දි මමත්, නැන්දත් එක්ක සොහොන ගාවට ආව සන්දීප් ද පුදුමයෙන් බලා සිටියේ මැණිකෙ නැන්දත්, මගෙ අම්මත් අඳුනන්නෙ කොහොමද කියලයි...

"අනේ ස්නේහා නෝනා.. ගොඩක් කෙට්ටු වෙලා.. ඇදිලා ගිහින් දෙවියනේ කළු වෙලා තිබ්බ පාට නැති වෙලා.. මොනද මේ වුණේ.."

"මොනා කරන්නද මැණිකෙ අක්කා.. අපිට උරැම කුස්සියනෙ.. දැලි කුණුවලට දිරාපත් වෙලා.. මැණිකෙ අක්කට ගොඩක් පිං.. මගේ කෙල්ලව මෙච්චර කල් ඇස් දෙක වගේ බලාගත්තට.. අපේ කීමට හැම ඇත්තක්ම හැංගුවට.."

මේ මොනවද සිද්ධ වෙන්නෙ අගක් මුලක් හෝ නොතේරෙන තැන තුශ්නිම්භූත වී බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනව කරන්නද.. මැණිකෙ නැන්දා ස්නේහා අම්මා මගෙ ඇත්තම අම්මා කියලා දැනන් ඉදලද.. එයා ඒක හැංගුවේ අම්මගෙ කීමටද.. එතකොට අම්මයි මැණිකෙ නැන්දයි අඳුනන්නෙ කොහොමද.. මගෙ හිතට එකින් එක ප්‍රශ්න නැගෙද්දි දැන් නම් ඔළුව එකම අවුල් ජාලයක් වී හමාරයි.. 

"මැණිකෙ නැන්දා.. ඔයා දැනන් හිටියද අම්මා ගැන.. මට නිකමටවත් කිව්වෙ නෑනෙ..."

ඉවසන්න බැරිම තැන මම ඇහුවෙ මේ ප්‍රශ්න දැන් නිරාකරණය විය යුතුම නිසයි...

"ඔව් සදිසි බේබි එදා මගෙ පරණ බඩු පිහදාද්දි ඔයාට හම්බුණ අපහැදිළි පොටෝ එකේ හිටියෙ ඔයා කවුද කියලා අහපු කෙනා තමයි ඒ.. ඔයාගෙ අම්මා.. ලොකු මහත්තයා අරන් දීපු මංජුසා දෙකක් තිබ්බෙ එකක් ඔයාගෙ අම්මගෙ එක.. එදා මට ඔයාට ඒ දේවල් කියන්න බැරි වුණේ ලොකු නෝනලා දැනගත්තොත් ඔයාට ඉන්න දෙන්නෙ නැති නිසයි... ඔයාගෙම හොඳට එදා ඒ හැම අතීතයක්ම ඔයාට හොරෙන් පුච්චලා දැම්මා මම.. මට සමාවෙන්න සදිසි බේබි.."

එතකොට එදා මැණිකෙ නැන්දයි, අම්මයි තාත්තායි එක්ක හිටිය අනිත් ගෑනු කෙනා මගෙ ඇත්ත අම්මද.. ඒ නිසාද නිලන්ති අම්මා කිව්වෙ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ දරැණු වුණා කියලා.. වේදනාවල් මැඩගෙන ප්‍රශ්න එකිනෙක නිරාකරණය වුණේ හදවතට සැනසුම් සුසුමක් ලබාදෙමින්..

"හරි එතකොට මාව හම්බුණේ කොහොමද.."

"මගෙ දුව.. ඒක තමයි මම කරපු ලොකුම වරද.. කාලයක් මම එඩ්වඩ් බංගලාවෙ මැණිකෙ නැන්දා වගේම මෙහෙකාරකම් කලා.. අපි වැඩ කලේ එකට.. ඔයාගෙ තාත්තා අපිට ගොඩක් හොඳින් සැලකුවා.. ඒ දෙන්නට දරැවො නැති නිසා හැම තැනකම ඇවිද්දා භාර හාර වුණා.. ඒ හැම ගමනකම අපිවත් එක්ක ගියා.. ඔයාගෙ තාත්තා දරැවෙක් නැති එකට සෑහෙන්න වේදනාවෙන් හිටියෙ.. ඔය අතරෙ තමයි අසම්මත විදිහට එයාගෙ හිත මටත් මගෙ හිත එයාටත් බැඳුනේ.. මැණිකෙ අක්කා මට කොච්චර ඒ වරදෙ බරපතලකම ගැන අනතුරැ ඇගෙව්වත් මට ඒ දේවල් තේරැණේ නෑ.. මොකද අසම්මත වුණත් මගේ හිතට දැණුනු පලවෙනි ආදරේ. හිමි නොවෙන බව දැන දැනම ඔයාගෙ තාත්තට තවත් වැඩියෙන් ආදරේ කලා මම.. ඔය අතරෙදි තමයි ඔයා මගේ කුසට එන්නෙ.. ඒ තරම් අපේ ආදර කතාව දුර ගියා මගෙ දූ.. නිලන්ති නෝනා මාව ගෙදරින් එලවද්දිත් ඔයා මගේ කුසට ඇවිත්.. ඒත් ඒක දැනන් හිටියෙ මැණිකෙ අක්කයි තාත්තයි විතරයි.. එදයින් පස්සෙ මාව ගෙයක් අරන් දීලා නවත්තලා.. මගේ අඩුපාඩු සේරම බැලුවා තාත්තා.. ඔයා කුසේ ඉද්දි දවසින් දවස කුස ලොකු වෙද්දි එයා හරි ආදරෙන් බලන් හිටියා ඔයා මේ ලෝකෙට එනකම්.. එයාට හීනයක් වෙලා තිබ්බෙ එයාගෙම ලේ වලින් දරැවෙක්.. ඉතින් එයා ඔයාට ආදරේ කලා පුරාම.. අවසානෙදි ඔයාව බලාගන්න එයා මට පොරොන්දු වුණා.. ඒ නිසාම දරැවෙක් අරන් හදාගත්තම දරැ ඵල ලැබෙනවා කියලා ඔයාව ගත්තා එයා ගාවට.. ඒත් ඔයාගෙ වාසනාවට ඒකත් ඇත්තක් වුණා..තාත්තා ගාවට ඔයාව ගන්න සුදු අම්මා අතට ඔයාව දෙද්දි මම පිච්චුනා පණපිටින් එදා... ඇඬුවා වාහනේ ඈත යනවා පෙනි පෙනී බිම වැතිරිලා ඇඬුවා මම... එදා තමයි මම ජීවිතේ වැඩිපුරම විදවපු දවස.. එදයින් පස්සෙ අද වෙනකම් එකම දවසක්වත් සතුටින් හිටියෙ නෑ මම.. මේ ආත්මෙ තාත්තව නීතියෙන් මගේ නොවුනට අපි හදවතින් බැඳුනා වෙන් වෙන්න බැරි තරමට.. අදටත් ඒ ආදරේ එහෙමමයි ඔයාගෙ තාත්තා වෙනුවෙන් මට..
ඒත් මට එයාගෙ අවසාන හුස්ම යද්දිවත් ලග ඉන්න බැරි වුණා.., අනේ මට එයාව එකම වතාවත් බලන්න තිබ්බනම්..."

සිදුවුණ දේ අකුරක් නෑර පැහැදිළි කරපු අම්මා සොහොන් කොත බදාගෙන ඇඬුවේ තාත්තා ගැන අම්මගෙ හිතේ තිබ්බ ආදරේ තාමත් ඒ විදිහටම තියෙන නිසයි..

නොදුටුවත් දසුන දෑසින්..
නොවේ අමතක හදවතේ රැදි රෑපයන්..
ලංව හිඳ ආදරේ නොවින්දත්..
කොහෙද අඩු වූයෙ සැබෑ ආදර කතාවන්..
රැවින් බැඳි අදර කතාවන්..
නැසෙයි රැව සමග යම් දිනක නොසිතන ලෙසින්..
හදින් හද බැඳි ආදර කතාවන්..
අමරණීයයි සදහටම රෑපයන් මැකුණත්..

තාත්තගෙ සොහොන් කොත ලග ලස්සන අරලියා අත්තක් හිඳුවා සදහටම සමු දුන්නේ දිනක අරලිය මල් පිපී සුවද දී තිනි රකී මගෙ තාත්තගෙ... අපේ මතකයන් සදහටම සොහොන මත ඉතුරැ කරවා අපේ මතකයන් එක්ක නුඹේ තනියට අරලිය ගසක් තනි රකී අපි වෙනුවට.. ඉතින් යන්නම් මේ රටින්ම අපි සිනාසෙනු මැන පිපුණු අරලියා මල් දෙස බලා තාත්තේ හැමදාම නුඹ... 

අම්මත් මමත් සන්දීප් එක්ක ලංකාවට සමු දී යන්න තීරණේ කලේ තාත්තගෙ අවසාන අාසාව වූ නිසයි එය.. මැණිකෙ නැන්දට වේදනාවෙන් සමු දුන්නේ ඇගේ තනියට අම්මත් නංගිත් ඉන්න නිසාවෙන්.. 

"මට දුකයි.. සතුටින් ඉන්න ඔයා.. අම්මයි සන්දීප් පුතයි එක්ක.. මාව බලලා යන්න එන්න සදිසි බේබි මේ ඇස් පිය වෙන්න කලින්.." 

මැණිකෙ නැන්දගෙ අවසාන ඉල්ලීම ඒක.. අනේ අවුරැදු ගානක් මාව ඇස් දෙක වගේ රැකපු මැණිකෙ නැන්දව කොහොම අමතක කරන්නද මම.. 

"එනවා නැන්දෙ දවසක ඔයාවත් අපි ගාවට ගන්න බලාගෙන.. අම්මවයි නංගිවයි බලාගන්න.. අම්මට වෙලාවට බෙහෙත් දෙන්න.. නංගිවත් බලාගන්න.. සතුටෙන් ඉන්න.. කතා කරන්නම් හැමදාම.. ඔයාට.."

"අනේ ඔව් මැණිකෙ අක්කා.. මගෙ පණ ටිකනෙ ඔයා රැක්කෙ ඇස් දෙක වගේ.. සතුටින් ඉන්න.. මේ ආත්මෙ අපි ලේ නෑ කමක් නැති වුණාට ලබන ආත්මෙ අපි එක කුස උපන් සහෝදරියො වෙලා ඉපදෙයි.. අපි යන්නම්.. මැණිකෙ අක්කා.."

අපි මැණිකෙ නැන්දට වැඳලා ලංකාවට සමු දුන්නේ මතක ගොන්නක් හදවතේ ඉතුරැ කරගනිමින්...

...............................................................................

 (වසර දෙකකට පසු..)

"සදිසි මැණික.. කෝ පරිස්සමෙන් නගින්න කාර් එකට..,"

"හරි හරි අනේ.. මම පරිස්සමෙන් තමා හැමදේම කරන්නෙ.."

"ම්.. එහෙම කියලා බෑ.. ඔයා දැන් ඔෆිස් එන එක නතර කරලා බංග්ලෝ එකට වෙලා ඉන්න.. කන්ට්‍රෑක්ස් සේරම මම හැන්ඩ්ල් කරන්නම්.. අපේ මේ පුතු පැටියා ඉපදුණාම එයා බලාගනී අම්මිවයි, තාත්තිවයි, ආච්චිවයි තුන් දෙනාවම..,"

සන්දීප් උතුරා යන සෙනෙහසකින් මගේ කම්මුල් සිප මගේ කුසට දෙතොල් තිබ්බේ.. එයාගෙ මුළු ජීවිතේම මගේ කුස තුල දිනෙන් දින වැඩෙන නිසයි.. අනේ එයා හැමදාකම බඩට කන තියලා කතා කරනවා දරැවා එක්ක.. මහන්සිය නොබලා දිවා රෑ වැඩ කරනවා.. මගේ වැඩත් කරලා දෙනවා... සත්තකින්ම තාත්තෙක්ට තමන්ගෙ දරැවා වෙනුවෙන් කැප කරන්න බැරි දෙයක් නෑ.. අම්මෙකුටත් එහෙමයි... 
ගෙදර ඇවිල්ලා එයා එක්කම මාවත් නාන්න එක්ක යනවා.. මාව නාවලා එයා නාගෙන එනවා.. අම්මා තේ එක හදලා අපි නාගෙන එද්දිත්.. පඩිපෙල බහිද්දිත් එයා මගේ අතින් අල්ලගෙන.. මෙහෙම පරිස්සම් කෙරිල්ලක්.. දෙවියනේ.. පහුවෙලා හරි මගේ ලෝකෙට සතුට දුන්නට ඔයාට ගොඩක් පිං.. මගේ තාත්තට පොරොන්දු වුණා වගේම සන්දීප් මට ආදරේ දුන්නා නොඅඩුවම.. තාත්තා වගේම පරිස්සම් කරනවා මාව.. මමත් ආදරෙයි එයාට.. අම්ම අවුරැදු ගානක් ගෙවල්වල කුස්සිය ඇතුලෙ වේදනා වින්ද නිසාම අම්මගෙ වැඩ ගෙදර වැඩ කරන අයට කරන්න දුන්නෙ නෑ.. ගෙදරක බැල මෙහෙ කරපු කෙනෙක් ඒ දුක දැනගෙන තව කෙනෙක් ලවා මරව මරව වැඩ ගනීද.. සත්තකින්ම.. මගෙ අම්මා විතරක් නෙවෙයි අපි දෙන්නත් එයාලට සැලකුවේ පවුලෙ අයට වගෙයි..
දිනෙන් දින ගෙවිලා අපේ පුතු පැටියා මේ ලෝකෙට ආවා.. සන්දීප් හැමදාම කිව්වෙ අපේ පුතා එයා වගේ නෙවෙයි.. සීයා වගේ වෙන්න කියලා.. ඇත්තටම මගේ පැතුමත් ඒක.. දවසක මගේ පුතත් එයාගෙ සීයා හදාගත්ත නම රැකගෙන සීයා වගේම ලෝකෙම දන්න ගුණ ගරැක.. අවංක.. ව්‍යාපාරිකයෙක් වෙයි.. සල්ලිවලට නෙවෙයි.. මනුෂ්‍යත්වයට ආදරේ කරන.., ගරැ කරන...
මට අවජාතක කෙල්ල කියලා කිව්ව නංගිට තාත්තෙක් නැති දුවෙක් බිහිවුණා.. නොකියා හරි මගේ තාත්තගෙන් මට සෙනෙහස ලැබුණා.. ඒත් ඒ අහිංසකීට එහෙමවත් නෑ.. ඒත් සීයා එයා වෙනුවෙන් වෙන් කරපු දේපල නිසා මම එදා හිගන කෙල්ලෙක් වුණාට එයාට එහෙම වෙන එකක් නෑ.. සීයාගෙ ගතිගුණ තියෙන චූටි කෙලි පැටික්කියෙක් නිසාම එයා දවසක ලෝකය ජයගනී... සන්දීප්ගෙත් මගෙත් ලෝකයට පුංචි පුතාගෙන් පස්සෙ හුරතල් කෙලි පැටික්කියක් ආවේ අපි හදාගත් පුංචි පවුල සම්පූර්ණ කරමින්.. අපේ පවුලෙ ලොකුම අඩුව පුරවමින්..දැන් මගේ පවුල සම්පූර්ණයි.. අපි හැමෝම සතුටින්.. සන්දීප්ගෙ ආදරේ මම වෙනුවෙන් අඩුවක් නෑ.. ඒ විදිහමයි.. අපේ පුංචි පැටවු දෙන්නා අපේ මූණෙ හිනහව රැදෙව්වෙ හැමදාම.....

සතුට ඇත්තේ අවංක සෙනෙහස ලග..
සතුට ඇත්තේ නොමැකෙන ආදර කතා ලග..
පුංචි පැටවුන් තමයි දෙමව්පියන්ගෙ සිනහව..
මට සතුට දුන්,, ජීවිතේ දුන් තාත්තා තමයි අදටත් මගේ ලෝකය...

මේ නිර්ණාමිව තාත්තෙකුගේ අපිරිමිත සෙනෙහස ලද ආදරේ වෙනුවෙන්, ජීවිතේ වෙනුවෙන් වේදනාවන් මැඩගෙන සතුට සොයා පියඹූ සමනලියකගේ කතාවයි....

-.සමනල තටුවලට වෙහෙසයි ඉතින් පියඹන්නම් පුංචි විරාමෙකට දැන්...-
                                                         (නිමි)
................................................................................


*දිගම දිග කොටසකින් කතාව  ඉවර කරනවා ඉතින්.. සදිසිට හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බවුණා.. අම්මව දුකින් මුදවගෙන සැපවත් ජීවිතයක් දෙන්න හිතපු හීනෙ සැබෑ වුණා.. සන්දීප් එක්ක සෙනෙහෙ පිරැණු කැදැල්ලක් හදාගත්තා.. තාත්තට පොරොන්දු වුණා වගේම බිස්නස් දියුණු කලා.. එයාගෙ නම තවත් බැබලෙව්වා.. පරිච්ඡේද තිස් තුනක් පුරාවටම සදිසි එක්ක ජීවත් වුණු එයාගෙ දුකේදි දුක් වුණු, සතුටෙදි ගොඩක් සතුටු වුණු කතාව දාපු ගමන් බලලා හැමදාම කමෙන්ට් එකක් තියපු හැමෝටම හදවතින්ම කියනවා ගොඩක් ස්තූතියි.. ආදරෙයි..❤❤❤ ලයික් කමෙන්ට් නැතත් කතාව කියවපු.. මම නම් ගම් වශයෙන් නොදන්න අයටත් ස්තූතියි.. කතාව එක්ක පරිච්ඡේද තිස් තුනක් හිටියට.. කමෙන්ට් කරලා මාව හැමදාම දිරිගන්නපු ටික දෙනෙක් ඉන්නවා තෑන්ක්ස් ඔක්කෝටම.. මේ කතාව ලිව්වේ මගේ හදවතටම ආපු වචන, හැගීම් එක්ක.. සදිසිගෙ චරිතෙ ඇතුලෙ ජීවත් වුණා මම.. ඒත් ඊට වඩානම් ටිකක් නපුරැයි මම.. දගයි.. කතාව කියවපු කමෙන්ට් කරපු, නොකරපු හැමෝටම ආදරෙයි ගොඩාක්... ඉක්මනටම තවත් කතාවක් ගේන්නම්.. හොඳම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලා.. ඒ නිසා ඉවසන්න.. ඉස්සර වෙන්නෙපා.. කතාවෙන් ගන්න ආදර්ශත් තියෙනවා.. ඒවත් ජීවිතේට එකතු කරගන්න.. ඉතින් ආදරෙයි.. හැමෝටම.. කතාවට Cover pic එක හදලා හැමදේටම උදව් කරපු Vindula janith අයියෙ තෑන්ක්ස් ඔයාට.. ඉතින් යාලුවේ ගෘප් එකයි පේජ් එකයි අතාරින්නෙපා.. පුළුවන්නම් මෙතෙක් කල් කතාව කියවපු ලයික් කමෙන්ට් නොකරපු අයත් ලයික් එකක් දාලා පොඩි කමෙන්ට් එකක් හරි එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. මගේ අහිංසක ආසාවනෙ ඉතින්.. ඉක්මනටම හමුවෙමු අලුත් කතාවකින්.. දිගටම ඉන්න කතා පියස එක්කම.. අද වගේ ම හෙටටත්, මතුවටත්.. ආදරෙයි.. බුදු සරණයි..*
Dilru Don'T Copy

No comments:

Post a Comment