නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*හත්වන
දිගහැරැම*
පාර දිගේ අවසිහියෙන් මෙන් මම ඇවිද ගියේ එක් නිමේෂයකට මට අම්මව
දකින්න ලැබුණත් ඇය එක්ක ගත කල කාලය මට මදි කියා දැනුනු නිසාවෙන්.. අම්මගෙ කරගැට
පිපුනු දෑත් මැවි මැවී පෙනෙද්දී පපුව පසාරැ කර පිහියකින් අනින තරම් වේදනාවක් ඇති
වුනේ වාවගන්න බැරි තරම්මයි.. අනේ මගෙ අම්ම විදලා තියෙන දුක් ගොන්න.. පව් මගෙ
අම්මා මගෙ ලග නතර කරගන්න බැරි තරම් මම අසරණ වුනු හැටි.. මමත් මට අයිති නැති තැනක
වැටිල ඉන්න ගමන් ඒ ගෙදර මටවත් සතුටක්, සැනසීමක්
නැති තැන මගෙ අම්මව තියා ගන්නෙ කොහොමද.. අවුරැදු විසි පහක් වෙලත් මගෙ අම්මා
විදින කප්පරක් දුක් කන්දරාවෙන් ඇයව මුදව ගන්න මට බැරි හැටි.. මම මටම සාප කර ගත්තේ
එයටයි..
කල්පනා කරමින් පාර කොනෙන් යන මට දකින්න ලැබුනෙ මා රැකබලා ගන්නා
අම්මත්, තාත්තත්, මමත්, නංගිත් පොඩි කාලේ සෙල්ලම් කරන්න ආව
පාර්ක් එකයි.. අපේ කෙලි සෙල්ලම්වල කොච්චර මතකයක් මේ පාර්ක් එකේ ඇතිද.. අම්මා
තාත්තා යැයි සිතා අරන් හදාගත් අම්මා තාත්තා එක්ක මෙහි කොච්චර නම් සතුටු වුනාද..
ඒත් ඒ වෙද්දි මගෙ අම්මා කොච්චර දුක් විදින්නැද්ද මහ මැදුරක වලං පිඟන් මැද මැද..
ඇඬූ කඳුළින් ම මම පාර්ක් එකේ බංකුවක් මත වාඩි වුනේ කෙළි සෙල්ලම් කරන ළමයි දිහා
බලමින් මගෙ පුංචි කාලේ මතක ආවර්ජනය කරගෙනයි..
මම සතුටින් සෙල්ලම් කරද්දි අනේ මගෙ අම්මා කුස්සියක දැලි කුණු
අතගාන්න ඇති.. මාව මතක් කර කර අඬ අඬ වැඩ කරද්දි සල්ලිකාර හාමුලාගෙන් අනන්ත අප්‍රමාණ
බැනුම් අහන්නැති.. ඇයි අපිට මේම වුනේ අම්මේ.. මම ඉකිබිඳිමින් දෑත් වලින් මූන
වසාගත්තෙ මගෙ කඳුළු ලෝකෙන් ම සඟවන්නයි...
"සදසි.."
මගෙ නම කියමින් උරහිසට කවුරැන්දෝ අත තිවූ බව දැනුනු නිසා මම
ඉක්මනින් කඳුලු පිහදා ඔළුව උස්සා බැලුවේ කවුද කතා කලේ බලන්නයි..
"සන්දීප්..
ඔයා මොකද මෙහෙ කරන්නෙ.."
මගෙ ලගින් සන්දීප් ඇවිත් වාඩිවෙද්දි මම පුදුමෙන් වගේ ඇහුවෙ සන්දීප්
මොකටද මෙතනට ආවෙ කියා දැනගන්නයි..
"මමද මම මේ ආවෙ ලිස්සන බෝට්ටුව ටිකක් පැදලා
යන්න.. අනේ මෝඩි මම දැක්කා ඔයා අඬ අඬ කල්පනා කර කර මෙලෝ සිහියක් නැතුව වගේ
පාර්ක් එක පැත්තට එනවා.. මම ආවෙ මොකද බලන්න.."
සන්දීප් මම නිසා පාර්ක් එකට ආව කියන කතාවට මම පුදුම වුනා..
"ඉතින් මම ආවට ඔයා මොකද ආවෙ.."
"අවුලෙන් ආව නිසා මොකද බලන්න ආවෙ.. මොකෝ මේ
මූණ පොඩි වෙච්ච තක්කාලි ගෙඩිය වගේ වෙලා.."
සන්දීප් මගෙන් දුකින් ඉන්න හේතුව අහද්දි මට කටඋත්තර නැති වුනේ මගෙ
අම්මා ගැන සන්දීප් ට කියන්නෙ මොකද කියලා හිතුන නිසයි..
"මුකුත් නෑ.."
"ඇයි මට බොරැ කියන්නෙ.. ඔයා දුකින් පිස්සුවෙන්
එනවා දැක්කම මගෙ පපුව පිච්චුනා.. ඔයාට මොකද වුනේ කියලා හොයලා බලන්න ඕනි කියලා
මේ ඊයෙ පෙරේදා ඔයාව අදුනගත්ත මට ආවෙ පුදුම කැක්කුමක්නෙ ඔයා ගැන.. ඇත්ත තමයි මම
මොකටද මේවා ඔයාගෙන් අහන්නෙ.. ඇයි ඔයා ගැන දුක් වෙන්නෙ මම.."
සන්දීප් දිගටම කියවන් යද්දි ඇත්තටම දුක නොහිතුනා නොවෙයි.. ඒත් මගෙ
අම්මා විදින දුක තරම් දුකක් නෑ තවත් දැනෙන්නෙ..මගෙ අම්මා මගෙන් තාත්තා ගැන හංගන්නෙ
ඇයි.. හේතුව මොකක්ද මට හැමවෙලේම කල්පනා වුනේ ඒ ගැනයි..
"ප්‍රශ්නයක් නෑ මම හොදින්.."
කඳුලු හංගන් මගෙ වේදනාවන් හිර කරන් බොරැ කිව්වත් මට තවදුරත් මගෙ
ඇස් රවට්ටන්න අපහසු වනා..
"ඔය අඬනවා නේද.. කියන්න මට.. මම දන්නෑ ඇයි මට
මෙහෙම දුක හිතෙන්නෙ කියලා.. ඒත් මට එදත් ඔයාට ප්‍රශ්නයක්ද කියලා හොයලා බලන්න
හිතුනා.. අදත් එහෙමයි.. කියන්න මට.."
කඳුලු තවමත් කඩන් හැලෙද්දි සන්දීප් මගහැර යන්නට මට උවමනා වුනේ මගේ
දුක මට තනියම දරාගන්න උවමනා වුන නිසයි..මම සැනින් බංකුවෙන් නැගිට්ටේ සන්දීප්
මගහැර යන්නයි..
"ආව්.."
බංකුවෙන් නැගිටලා යන්න හදද්දිම සන්දීප්ගෙ කකුල පැටලී මම සන්දීප්ගෙ
උකුල උඩටම ඇදගෙන වැටුනේ අකුණක් ඔළුවට පාත් වුනා සේ මුළු ඇගම හිරිවට්ටහින්..
මගහැරලා යන්න හැදුවත් ඇයි දෙවියනේ මාව මේ මනුස්සයගෙ ඇගටම වැට්ටුවේ.. තවත්
මොනවද මට කරන්න තියෙන අගති.. හිතින් දෙවියන්ට බැන්නෙත් කරගන්න දෙයක් නැති තැනයි..
වැටෙන්න ගිය මාව තමන්ගෙ දෑත්වලින් අල්ලා සන්දීප් මා බේරගනිද්දි මම ඉබේම
සන්දීප්ගේ පපුවට තුරැල් වුනේ මෙහෙතක් ගැහෙන ඒ පපුවේ රිද්මය ලඟ අතරමං වෙද්දි..
"උඩ බලාගෙනද යන්නෙ.. හිතුවෙ මට ඇත්ත නොකියා
පැනලා යන්න නේද.. මගෙන් බේරිලා යන්න බෑ ලේසියෙන්.. මගෙ ඇග උඩටම කඩා වැටුනනෙ..
අම්මෝ කෝටු වුනාට යකඩද පුදුම බරයිනෙ.."
පිරිමි පපුවේ අමුතු රිද්මය ලඟ මම අතරමං වෙද්දි පියවි සිහියට ආවේ
සන්දීප්ගේ හඬ ඇසුනු නිසයි.. සත්තකින්ම මට දැනුනේ හිතේ බර මොහොතක් නිදහස් වී
මට සැනසීමක් ලැබුනා සේයි.. සන්දීප් දිහා ඔළුව උස්සා බලද්දි ඔහු හිනාවෙමින් මම
දිහාම බලන් ඉද්දි ඒ හිනාවේ අව්‍යාජ බව මගෙ වේදනාවන් මොහොතකට අමතක කරවූයේ හරි
පුදුම විදියටයි...
"ඈම්... සොරි.. මම හිතලා නෙවෙයි.. පැටලුනා
කකුල.."
"ඔව් මම ඒක දැක්කා..උඩ බලාගෙන යන්න හැදුවෙ..
වාඩි වෙනවා මෙන්න මෙතනින්..හිතන්න මම ඔයාගෙ යාලුවෙක් කියලා..දැන් කියන්න මේ
කඳුලුවලට හේතුව.."
බොහොම පරිස්සමෙන් මාව බංකුවෙන් වාඩි කරවලා හරිම සන්සුන් ව සන්දීප්
මගෙන් කඳුලුවලට හේතු අහද්දි ඇති වුනේ සහනයක්.. මට හිතුනෙම සන්දීප් මගෙ හිත
නිදහස් කරන්න දෙවියොම එව්වද කියලත්
"මට මගෙ අම්මා හම්බ වුනා අද.."
"අම්මා හම්බ වුනා..? ඒ මොන හරැපයක්ද.. අම්ම හම්බුනා කිව්වෙ නිලන්ති ආන්ටි ගෙදරනෙ
ඉන්නෙ.."
"නෑ මගෙ ඇත්ත අම්මා.. මාව බිහි කරපු අම්මා.. මම
මගෙ ජීවිතේ මගෙ අම්මව දැක්ක පලවෙනි දවස අද.. ඒත් මට මගෙ අම්මව නතර කර ගන්න බැරි
වුනා.. මට මේ දුක දරාගන්න බෑ.."
මෙතෙක් වෙලා සන්දීප් ඉදිරියේ සඟවා සිටි දුක හා කඳුළු ඉකි ගසමින් පිට
වන්නට වූයේ එය ඒ තරම්ම දුක්බර වූ හෙයිනි..
"ඕ ගෝඩ්...ඈම් සොරි මම ඔයාගෙ හිත රිද්දන්න
හිතුවෙ නෑ.. එයා කෝ දැන්, කොහෙද ගියේ, මොනවද කරන්නෙ.."
"ගියා.. ආපහු මාව දාලා ගියා.. මගෙ අම්මා ගොඩක්
දුක් විදිනවා සන්දීප්.. අම්මගෙ අතේ කරගැට දාලා.. ගෙවල් වල මෙහෙකාර කම් කරනවා..
මගෙ අම්මා ලස්සනයි.. ආකාලයේ මැලවුනු මලක් වගේ.. මූණ වල ගැහිලා.. කලු වෙලා.. මට
මැවිලා පේද්දිත් පපුව පිච්චෙනවා.. මගෙ අම්මා එච්චර දුක් විදිද්දි මම මේ විදින්නෙ
සැප.. මගෙ අම්මව දුකින් ගලව ගන්නෙ කොහොමද මම..එයා ඉන්න තැනක් වත් කිව්වෙ නෑ මාව
ආපහු දාලා ගියා මිස..හොයා ගන්නෙ කෙහොමද මම.. මගෙ අම්මා වැඩ කරන තැන.. මගෙ තාත්තා
කොහෙද, කවුද කියලා..මම අසරණයි සන්දීප්.."
අත්දෙකෙන් මූණ හංගන් බංකුවට හේත්තු වී මම අඬන්න ගත්තේ සන්දීප්ගෙත්
ඇස් වේදනාවෙන් පුරවමින්..
කෝ මේ එන්න.. මට තේරෙනවා ඔයාගෙ දුක..අපි අම්මව ඒ දුකින් බේරගමු
ඉක්මනටම.. තාත්තාවත් හොයාගමු.. මම ඉන්නවා අද ඉදන් ඔයා එක්ක ඔයාගෙ හැමදේටම.. ඔයාව
දැකපු මුල් දවසෙමයි ඔය අහිංසක කම මට දැනුනෙ.. එදත් ඔයා මම නිසා බැනුම් ඇහුවද කියලා
ගෙදර ගියත් සැනසීමක් තිබ්බෙ නෑ.. ඒ නිසාම තමා අවදානමක් අරගෙනත් රෑ ආපහු
ආවෙ.."
සන්දීප් මාව එකවරම තුරැල් කරගෙන හිස පිරිමදිද්දී මමත් ඒ තුරැලට තවත් ගුලි වුනේ මහා ලොකු
සැනසීමක් දැනුනු නිසාවෙන්.. ඒත් සන්දීප් මං ගැන මේ තරම් වද වෙන්නෙ ඇයිද කියන එක
මට තාම ප්‍රශ්නයක්..
"ඇහුවා.. එයා මුකුත් කියන්නෙ නෑ.. මගෙන් ලොකු
දෙයක් හංගනවා.. මගෙ ඇස් තාත්තා වගේලු.. තාත්තව දකින්න නම් කණ්ණාඩිය ඉස්සරහට ගිහින්
බලන්න කිව්වා මගෙ ඇස් දෙකෙන් එයාව දකී කිව්වා.. ඒත් ඒ කවුද කියන්න තාම
රහසක්.."
මම සන්දීප් ගෙ තුරැලෙන් ඈත් වුනේ සන්දීප් ආගන්තුකයෙක් වබව පසක් වූ
බැවින්..
"ඔයාගෙ අම්මා තාත්තා ගැන නොකිව්වෙ ඔයාගෙ හොඳටම
වෙන්න ඇති.. දවසක එයා කියයි.. නැත්තම් අපි හොයා ගමු.. මම ඔයා එක්ක ඉන්නවා ඕන
උදව්වකට.. මට කතා කරන්න ඕන වෙලාවක..දැන් ඕක අමතක කරන්න.. අම්මව ඔයාගෙ ලඟට ගමු
ඉක්මනට.. දැන් යමු ගෙදර.."
සන්දීප්ගෙ වචන මට අස්වැසිල්ලක් වූවද ගෙදර යන්න නම් හිතක් තිබුනෙ නෑ..
"මට බෑ.. මම ටිකකින් එන්නම් ඔයා යන්න.."
"අනේ මේ.. එදා පාර පැන්න හැටි දැක්කනෙ මම..
මෙලෝ සිහියක් නැතුව.. අද පාර්ක් එක පැත්තටත් පාවුන හැටි දැක්කා මම.. ඒ නිසා
අවදානමක් ඕනි නෑ.. මෙන්න මෙහෙ එනවා යන්න.."
"මාව අතාරින්න සන්දීප්.. කිව්වනෙ මට එන්න බෑ
කියලා.. ඔයා යන්න..මම එන්නම්.."
සන්දීප් මගෙ අතින් අදිද්දි මම බංකුව තදින් අල්ල ගත්තෙ ඉල්ලීම ප්‍රතික්ෂේප
කරන්නයි..
"ආ එහෙමද මැඩම්.. අපි ඔය රෙස්පට් වලට පදිරි නෑ
ඕකේ.. මෙන්න මෙහෙ එනවා.."
"එකපාරම සන්දීප් මාව දෝතට වඩා ගනිද්දි මම
පුදුමෙන් වගේ සන්දීප් දිහා බලන් හිටියෙ මෙච්චර මම ගැන වද වෙන්නෙ මොකද කියලා
හිතාගන්න බැරැවයි..
ඒ අතරම මම ඔහුගෙන් මිදෙන්නට දුන්නේ මහ සටනක්.."
"මොකද මේ පණුගාය වගේ දගලන්නෙ.. මමත් මේ
ආසාවට උස්සගෙන යනවා නෙවෙයි ඔහෙව.. කිලෝ හැටක් විතර.. නැත්තම් මොකක් හරි එකක
ගිහින් ඇනුනම පව් ඒ අහිංසක මනුස්සයා නිකම් දඩ කනවා.. දගලන්නැතුව ඉන්නවා..මරන්න
ගෙනියන්නෙ නෑ.."
සන්දීප්ගේ හයිය ඉදිරියේ මම පසුබට වූයේ තවත් තරග කිරීම නිශ්ඵල
දෙයක් වූ නිසාවෙන්..මහ පුදුම කොල්ලෙක්.. මගෙ තාත්තට මිස තවත් පිරිමියෙකුට මම නතු
වූ මුල්ම වතාවයි මෙය.. අරැමයක් මේ සිදුවීම මට..
සන්දීප් පාර්ක් එකේ නවතා තිබූ ඔහුගේ කාර් එක ඇතුලෙන් මාව වාඩි කරවා
කාර් එක පණ ගැන්වූයේ මාව ගෙදරටම ඇරලවන්න හිතාගෙනයි.. වාහනය ඇතුලෙත් මගෙ ඇස්
සන්දීප් ලඟම නැවතී තිබුනේ තේරැම් ගත නොහැකි හැගීමක් සමගයි... සන්දීප් මේ තරම්
මං ගැන වද වෙන්නෙ ඇයි.. බෑ කියද්දිත් බලෙන් උස්සගෙන එන්න තරම් දඩබ්බරකමක් ඇයි..
මාව මොහොතකට අතරමං කෙරෙව්වේ සන්දීප්ගේ මේ කරන දේවල් තේරැම් ගන්නට නොහැකි
නිසාවෙන්..
ඒත් නංගි සන්දීප් ගැන කියූ කතා.... මොහොතකට මාව පියවි සිහියට ගෙන
ආවේ සිදු වූ සියල්ලක්ම අමතක කරමින්...
...........................................................................
*කතාවේ හත්වන දිගහැරැමත් නිමා වෙද්දී කතාවේ අලුත් ආරම්භයක් ඇති වුනා
වගේ.. සදිසිගෙ අම්මව විදින දුකෙන් මුදව ගන්නත්, තාත්තා කවුද කියලා හොයා ගන්නත් තියෙන අතරතුරේ සන්දීප් සදිසිට
කොහොම උදව් කරයිද.. සවින්දි ඒ වෙනුවෙන් කොහොම ප්‍රතිචාර දක්වයිද... ප්‍රශ්න
සේරම විසදගමු.. දිගටම රැදෙන්න කතාව සමගම... හැමදාම කතාව කියවන්න.. ඔයාලගෙ වටින
අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම රැදෙන්න කතා පියස අපි එක්කම..*
Dilru Don'T Copy
No comments:
Post a Comment