Pages

Tuesday, June 23, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*දහනව වන දිගහැරැම*

ලංකාවේ ප්‍රසිද්ධම රෙදි පිලි අලෙවි සැලක් ඇතුලට මාව එක්ක ගිය සන්දීප් යාලුවෙක් එක්ක කතා කරද්දි මම ඒ මේ අත බැලුවේ මම කිසිමදාක මෙවන් තැනකින් ඇඳුම් අරගෙන නැති නිසයි.. 

"ඔය කොහෙද යන්නෙ.. මේක ඇතුලෙත් අතරමං වෙන්නද හදන්නෙ.. මෙන්න මෙහෙ එනවා.. රෙදි ගන්න කෙසේ වෙතත් මට මේක පුරා දුවන්න වෙයි මෙයා හොයන්න.."

සන්දීප් හිනාවෙලාම කියද්දි මට ලෝබ හිතුණා... 

"මාව නෝන්ඩි කරනවද.. මම මේ වගේ තැනකට ඇවිල්ලා නැති නිසාද ඔහොම ලැජ්ජ කරන්නෙ.. මම කිව්වෙ නෑනෙ මාව මෙතනට ගේන්න කියලා.. මොකටද එක්ක ආවෙ.."

බොරැ තරහක් හිතේ මවාගෙන බැන්නත් මගේ හිත කිසිම තරහක් එයා ගැන ඇතිවෙලා නෑ..

"අම්මෝ සැර.. ලැජ්ජ කලේ නෑ මෝඩි.. මෙන්න මෙහෙ එන්න.. "

සන්දීප් මගේ අතින් අල්ලගත්තෙ මාව මගහැරෙයි කියලා වෙන්නැති.. පාට පාට වීදුරැ දාපු සන්ග්ලාස් දාගෙන ගෑනු අය රෙදි තෝරද්දියි මට තේරැම් ගියේ.. මේ මන්දිරය හුදෙක් ධනවත් අය සඳහා විවෘත කරන ලද්දක් බවයි...

"එන්න.. මුලින් මගේ ක්වීන්ට ගමු.. ඊට පස්සෙ මැච් කරලා ගමු.."

සන්දීප් මාව එක්ක ගියේ උඩු මහලකටයි.. ලස්සන දිග ලේස් ඇල්ලූ ප්‍රින්සස් ගවුම් හෝල් එක පිරෙන්න තියෙද්දි මට පුදුම අශාවක් ඇතිවුණා.. ඒත්.. සාමාන්‍ය විදියට අඳින්නෙ නෑනෙ මෙහෙම ඇඳුම්.. පාර්ටි එකක්ද ආපහු.. පාර්ටි කිව්වමයි මගේ පපුවට අකුණක් කෙටුවා වගේ හැගීමක් ආවේ.. ඊයෙ සිදුවුන දේ එක්ක පාර්ටි නම් එපා දෙවියනේ..

"සන්දීප්.. මට කියන්න.. ඇයි මෙහෙම ඇඳුම් ගන්න ආවෙ..?"

හිතට ඇතිවුනු කුතුහලය නිසාමයි ඇහුවේ..

"හෙට අපේ එන්ගේජ්මන්ට් එක බබා.."

මට උන් හිටි තැන් අමතක වුනේ ඒ කතාවට..

"මො..ක..ක්.. එන්..ගේ..ජ්..ම..න්..ට්..??"

වචන එකිනෙක පැටලුනේ අදහගන්න බැරි හැගීම නිසාමයි..

"ඔව් සදිසි.. ඔයාට ඒ ගෙදර ආරක්ෂාවක් නෑ.. අනික එඩ්වඩ් අංකල් තමයි කිව්වෙ හෙටම එන්ගේජ්මන්ට් එක ගන්න කියලා.. ඉතින් ඩැඩියි මමයි මේ හැමදේම ඇරේන්ජ් කරන්න හිතුවෙ ඒකයි අදම.. අංකල් ලක්ෂ පහක් අද උදේම ඩිපොසිට් කරලා තිබ්බා.. ඔයා ලස්සන මනමාලියෙක් වෙනව දකින එක තරම් සතුටක් නෑ කිව්වා.."

"මොකක්.. මේ හැමදේකම පිටිපස්සෙ තාත්තා ඉන්නවද..?"

"ඔව් සදිසි.. එයාගෙත් ආසාව..මටත් ඉක්මනට එන්ගේජ් වෙන්න අදහසක් තිබ්බා.. ඒත් මේ විදිහට කලබලෙන් නෙවෙයි.. මගේ යාලුවෝ හැමෝටම ඉන්වයිට් කරලා ග්‍රෑන්ඩ් එකට පාර්ටි එකක් ගන්න හිටියෙ.. ඒත් කමක් නෑ.. වෙඩින් එක සතියක්වත් ගන්නවා..මට ඔයාව හැමදාම සතුටින් තියන්න ඕන.. මගේ ලගම තියාගෙන.."

සන්දීප් මම ගැන හිතන තරම්.. සත්තයි මගෙ තාත්තාට සමාන නොවුනට සන්දීප් හිතන පතන විදිහ, ඒ අදහස් තියෙන කොල්ලෙක් ලබන්න කෙල්ල ආත්ම ගානක් පිං කරන්න ඕන.. තමන් ආදරය කරන කෙල්ල රැජිනක් වගේ ගෞරව කරලා තියාගන්න පිරිමියෙක් ලබන කෙල්ල ඇත්තටම වාසනාවන්තයි.. සමහරවිට සමහර නොලැබීම් එක්ක සන්දීප් වගේ කෙනෙක්ගෙ වෙන්න මම පින් කරන්න ඇති...

"ඇයි මේ හැමදේම මෙච්චර හදිස්සියෙන්.. අපි හෙමින් මේ දේවල් කරමු.. සන්දීප් මට තාත්තා එක්ක කතා කරන්න ඕන.. වීඩියෝ කෝල් එකකින්.. මගෙ පෝන් එකත් නෑනෙ දැන් කෝල් එකක් ගන්න දෙනවද පෝන් එක.."

"ඉල්ලන්න දෙයක්ද මැට්ටි.. මගේ දේවල් ඔයාගෙ තමා.. වැඩිය නෑ.. කෙල්ලො විස්සක් විතර මැසේජ් දාලා ඇති.."

සන්දීප් ඇහැකිනුත් ඉගි බිගි කරලා කියද්දි මම පොන් එක අතට ගත්තෙ හිනාවෙලා කොන්දට තට්ටුවකුත් දාලයි.. 
තාත්තට වීඩියෝ කෝල් එකක් ගත්තෙ මේ හදිස්සියේ මේ දෙවල් ඇයි කරන්නෙ අහන්නයි..

"තාත්තා..."

"මගෙ සදිසි මැණික..ඊයෙ නසරානි ටිකක් මගෙ කෙල්ලට කරදර කරන්න හැදුවලු නේද..ඕකුන් පණ පිටින් තියන්නෙ නෑ මැණික මං..තාත්තා ලග නෑ කියලා තරහද මගෙ සමනලී.."

තාත්තා කතා කලේ පසුතැවෙන කතා විලාසෙකින්..

"නෑ තාත්තා.. සන්දීප් මාව බේරගත්තනෙ.. දැන් මම ඉන්නෙ ලොකු ෂොප් එකක.. ඇයි තාත්තා මේ එන්ගේජ්මන්ට් එකක් හදිස්සියේ.."

"ඔව් මගෙ දූ.. මට මේ වගකීම්වලින් නිදහස් වෙන්න ඕන.. දැන් මගෙ සමනලීට කසාදයක් කරන කාලෙනෙ..අවුරැදු විසිපහත් පැනලනෙ මැණික.. අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ ආශාව දරැවෙක් සම්පූර්ණ වෙන එක.. සන්දීප් ගැන මම හෙව්වෙ ඔහෙට එන්නත් කලින්.. ඔයාව බලාගන්න පුලුවන් එකම කෙනා එයා.. මට විශ්වාසයි.. මගෙ කුමාරිකාව එයා රැජිනක් කරලා බලාගනී.."

මගෙ තාත්තා කොයි තරම් කරැණාවන්තද.. වගකීම් ඒ ආකාරයෙන්ම ඉශ්ට කරන්න වෙහෙසෙන තරම.. මගෙ ඇස් කඳුලින් බර වුනේ තාත්තගෙ ඒ සෙනෙහස මහ මෙරකට වඩා දැනෙද්දි..

"අනේ තාත්තෙ.. එච්චර දේවල් මං වෙනුවෙන්.. ඉතින් ඔයාගෙ සමනලීගෙ විශේෂ දවසෙ ඔයා ලග නැතිවුනාම ඒ අඩුව කොහොම පිරවෙන්නද තාත්තා.. ඔයා නැතුව මම සම්පූර්ණ නෑ කවදාවත්.."

"එහෙම කියන්නෙපා.. තාත්තා දූ ගැනමයි හිතන්නෙ..දූ ලගම ඉන්නවා තාත්තා.. දුවට හෙටක් දෙන්න පුලුවන් කෙනෙක් අතට දූව දුන්නම මේ තාත්තගෙ හීන සම්පූර්ණයි මගෙ මැණික.. ලස්සන ප්‍රින්සස් කෙනෙක් වගේ සරසිලා මට පොටෝ දාන්න.. මම ලැප් එකක් දුන්නනෙ.. ඒකෙන් වීඩියෝ කෝල් ගන්න එවලෙට.. තාත්තට දූගෙ මේ විශේෂ දවස තත්පරයක් වත් මගනොහැර බලන්න ඕන.. තේරැණාද.. දැන් සන්දීප් එක්ක බඩු ටික ලෑස්ති කරන්න.. හෙට මගෙ දූව බාර දෙනවා මම සන්දීප්ට... මගෙ ඇස්දෙක මේ.. රැකගනී එයා පණවගේ..."

තාත්තගෙ වචන ඇතුලෙ දොා්රෙ ගලාගෙන යන සෙනෙහසක් දැනෙද්දි මගෙ ඇස් වලින් කඳුළු බිඳු කඩාගෙන වැටුණෙ මේ තරම්  මට ආදරේ කරන මගෙ තාත්තා මගෙ මේ විශේෂ දවස සැලසුම් කරලා මං ලග නැත්තෙ ඇයි...මගෙ තාත්තා ලග හිටියනම්.. මගෙ අම්මා ලග නැති අඩුවත් පිරෙයි එදාට..තාත්තා මගේ සතුට වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කරනවද.. සන්දීප්ට බාර දෙන්නෙ මාව නෙවෙයි.. එයාගෙ ජීවිතේම වගෙයි..

"හරි තාත්තා.. ආදරෙයි.. හෙට ඔයත් මගෙ ලග හිටියනම්.. මාව සම්පූර්ණ වෙයි.."

"අනේ මගෙ චූටි.. තාත්තා මැණික ගාවම ඉන්නවා.. හැම තත්පරේම.. හෙට ලස්සනට ඉඳී.. මගෙ කෙල්ල.. මාත් ආසයි ඒත් එන්න විදිහක් නෑනෙ.. කෙල්ල ලගමයි තාත්තා ඉන්නෙ හැමදාම.. තියන්නම්.. තෙරැවන් සරණයි මැණික.. මගෙ පණ ටික.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම.."

තාත්ගෙ ආශිර්වාදය මගෙ හදවතටම දැනුනා.. එයාගෙ ආශිර්වාදය හැමදාම මාත් එක්කයි..

"හරි තාත්තා.. ඔයත් පරිස්සමෙන්.. බුදුසරණයි..!"

තාත්තගෙ ඇමතුම විසන්දි කර මම බැලුවෙ සන්දීප් දිහායි.. කෙල්ලෙක් එක්ක හරි හරියට ඇඳුම් තෝරද්දි මට කඳුළු අමතක වුනා.. ඒ හිනාව මගෙ හිත පුරවනවා හැම තිස්සෙම..

"සදිසි මේක තමයි ඔයාට ලස්සනම.. මේ නංගිත් ඒකමයි කිව්වෙ.."

රෝස පාට දිග ලේස් අල්ලපු ගවුමක් ඒක.. ගොඩක් බරට දැනුනෙ මට ගවුම..

"අම්මෝ මේක බරයිනෙ සෑහෙන්න.."

"එහෙම තමයි මිස්.. එන්ගේජ්මන්ට් වලට ඔහොම එකක් තමා හරියන්නෙ..ලස්සනට ඉඳී.. මිස් ලස්සනයිනෙ.. සුදුයිනෙ.."

ශොප් එකේ නංගි ඇඳුම ගැන වර්ණනා කරද්දි මටත් ආසාවක් ඇති නොවුනම නෙවෙයි...
ගවුමට හරියන හීල්ස් දෙකක් ජුවලරි කට්ටලයත් සේරම එතනින්ම අරන්.. ඊලගට අපි ගියේ සන්දීප්ට කෝට් එකක්, කලිසමක් කමිසයක් ගන්නයි.. රෝස පාට කමිසෙට කලු කෝට් එකක් සමග කලු පාටින්ම මැච් කරලා එයාගෙ ඇඳුමත් සම්පූර්ණයෙන් හරි ගන්වාගෙන මීලගට සන්දීප් මාව එක්ක ගියේ ජුවලරි ශොප් එකකටයි...

"සදිසි.. මම හිතන් හිටියෙ අපි දෙන්නට වෙනම රින්ග්ස් දෙකක් හදවන්න.. බට් හැමදේම ඉක්මන් වුනානෙ.. ඒ නිසා දැනට කපල් රින්ග්ස් දෙකක් ගමු.."

"අනේ ඒකට කමක් නෑ.. මේත් හොඳටම වැඩී."

අපි දෙන්නගෙ ඇඟලි වලට හරියන සයිස් එකෙන් ලස්සන කපල් රින්ග් දෙකක් ගත්තා සන්දීප්.. කලබලෙන් වුනත් එයා හැමදේම පුලුවන් ඉස්තරම් විදිහට කරන්නයි හිතන්නෙ.. පව් එයාට මේ එන්ගේජ්මන්ට් එක තරම් වෙන මොකුත් වැදගත් නෑ වගෙයි.. අඳුනගෙන වැඩි කාලයක් නැතත් මටත් එයා ගැන දැනෙන්නෙ පුදුම ආදරයක්...
ඒත් අමමටයි නංගිටයි කිව්වෙ නෑනෙ.. එයාලගෙන් අවසරේ ගත්තෙත් නෑ.. මම කලබල වුන හැටියට ඒකත් අමතක වුනානෙ.. නංගි මොනව කියයිද.. අම්මයි නංගියි නම් කොහොමත් කැමති වෙන්නෙ නෑ..

"සන්දීප්.. මේක දන්නෙ ඔයාගෙ තාත්තා විතරද..?"

මම ඇහුවේ දෙගිඩියාවෙන්..

"නෑ.. මමිත් දන්නවා.. එඩ්වඩ් අංකල් කෝල් කරලා කියද්දි එයත් හිටියා.. එයානම් කියන්නෙම මේක කරන්න එපාලු.. මට සවින්දිවලු මැච් වෙන්නෙ.. දේපලත් එයාටලු ලැබෙන්නෙ.. ආන්ටි අම්මගෙ ඔළුව අවුල් කරලා.. මට ඕන ඔයා..දේපල නෙවෙයි..ඩැඩී නිසා අම්මා පාඩුවේ ඉන්නවා... ඩැඩී මට ඔයා එක්ක මේ දෙවල් ලෑස්ති කරගන්න කියලා වෙඩින් හෝල් එකක් බලන්න ගියා.. කේටරින් සර්විස් එකත් එහෙන්ම දේවි.. එක දවසට අපි හැමදේම ප්ලෑන් කලා සදිසි.. ඔන්න දැන් අපේ මමියි, සවින්දියි ආන්ටි කාමති නෑ කියලා මේකට අදිමදි කරන්න එපා.. ඔයාට වැඩිපුරම ආදරේ කරන එඩ්වඩ් අංකල්ගෙ ලොකුම ආසාවක් මේ.. තේරැණාද.. ඔයාට ආදරේ කරන එයා වෙනුවෙන් ඔයාට අනිත් අයව මගෑරලා ඉවසන් ඉන්නම වෙනවා.. මේ හැමදේම ඔයාගෙ ආරක්ෂාවට කරන්නෙ.."

මගේ හිතේ තිබ්බ අම්මයි නංගී ගැන තියෙන බයත් සන්දීප් සැහැල්ලුවෙන් විසදලා දුන්නා..  ඇත්තමයි.. මෙයාගෙ තේරැම් කිරීමේ රටාවට ලෙක්චර්ස්ලා පරාදයි..

"අම්මලා දන්නවාද දන්නෙ නෑ දැං.."

මට මීලගට හිතට නැගුනු ප්‍රශ්නය අම්මලා මම ගෙදර යද්දි මේ ගැන දැනගෙන ඉදීද කියලයි..

"ම්.. ඔව් දැන් දන්නවා ඇති අපේ මමී කෝල් කරන්න ඇති.. අනික එයාලා ඉස්සරහම තමයි මම ඔයාට මුද්ද දාන්නෙ.. තේරැණාද.."

සන්දීප් කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මගෙ කම් මුලක් තදින් මිරිකුවේ ආදරෙන්..

"හ්ම්ම්.."

මගේ මූණ ලැජ්ජාවෙන් පිරෙද්දි මම බිම බලාගත්තේ එයා දිහා නොබලමයි..

"මගේනෙ ඉතින් මේ ලැජ්ජකාරි... හෙට ඉදන් කොහොමත් මගේ.."

සන්දීප්ගේ ඉවරයක් නැති මම එයාගෙමයි කියන කතාවනම් හිතාගන්න බැරි දෙයක් මට.. එයා ඉන්නෙ සැහැල්ලුවෙන්... හරි සතුටින්.. මට පෝන් එකකුත් අරන් දීලා අපි 
ගෙදරට ආවත් සන්දීප් මාව ගේට් එක ගාවින් බස්සලා ගියේ පාන්දර නැගිටලා ඉන්න කියලයි.. එයා මාව සැලොන් එකකට ගිහින් දාලා එයත් ලෑස්ති වෙනවා කිව්වා.. ඇඳුම් අරන් ජුවලරි අරන් අඩුපාඩු අරන් අපි ගෙදරට එද්දි රෑ වෙලා.. අම්මලා නිදි.. වෙලාවට මම ගෙට ඇතුල් වුනෙත් බයෙන්.. මැණිකෙ නැන්දා කිව්ව විදිහට එන්ගේජ්මන්ට් එක දැනගත්ත වෙලේ ඉදන් අම්මත් නංගිත් පුදුම කේන්තියකින්  ඉදලා තියෙන්නෙ.. නංගි දවසෙම මතුරලා තියෙන්නෙ මේ එන්ගේජ්මන්ට් එක වෙන්න දෙන්නෙ නෑ කියලමයි..
වෙනදට වඩා මේ රෑ දිගු බවක් දැනුනා.. හෙට දවස මගෙයි සන්දීප්ගෙයි එන්ගේජ්මන්ට් එක ඇහිපිල්ලමක් ගහද්දි හැමදේම සැලසුම් වෙද්දි තාමත් මගෙ හිත කලබලයෙන්.. හිතාගන්න බෑ මොකක් වෙයිද කියලා.. හිත පත්ලෙ සතුටක්, දුකකුත් එක්ක බයක්, ආසාවක් එක්කම ලොකු කුතුහලයක් හිතේ තියනවා... රෑ නින්දනම් මගෙ අහලකටවත් ආවෙ නෑ.. හෙට වෙනස්ම දවසක්.. මම සතුටු වෙනවද, දුක් වෙනවද.. මොකක්ද මේ දැනෙන හැගීම.... මම දෙලොවක් අතර තනි වුනා... මුලු රෑම............

..............................................................................


*කතාවෙ දහනව වන දිගහැරැමත් මේ විදිහට අවසන් වෙද්දි විසි වන කොටස මොකක් වේද.. සන්දීප් දෙන මේ ආදරය හෙටින් සදිසිට කොහොම දැනෙයිද.. සදිසිගෙ ආරක්ෂාව ගැනම හිතලා එන්ගේජ්මන්ට් එක මෙච්චර ඉක්මනට ගන්න එඩ්වඩ් මදනායක සැලසුම් කලාද.. නැත්තම් එඩ්වඩ් මදනායකට සදිසිව සන්දීප්ට බාරදෙන්න තවත් අරමුණක් තියෙනවා වෙන්න ඇතිද.. ඒ කෙසේ වෙතත් ඉක්මනටම නොසිතූ අන්දමින් ගන්න යන මේ එනේජ්මන්ට් එකට සන්දීප්ගෙ අම්මත්, සවින්දිගෙ අම්මත් වැඩිපුරම සවින්දිත් කොහොම රිඇක්ට් කරයිද.. හෙට එන්ගේජ්මන්ට් එක ප්‍රශ්නයක් නැතුව සතුටින් කරගන්න පුලුවන් වෙයිද.. හෙට විශේෂ දවසක් වේවි.. ඉක්මනටම විසිවන දිගහැරැම ගෙනෙන්නම්.. කතාව ගැන ඔයාලට දැනුනු අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. කතාව එක්ක හැමදාම ඉන්න පිරිසක් ඉන්නවා.. ආදරෙයි ගොඩක්....දිගටම රැදෙන්න කතාපියස එක්කම...*
Dilru Don'T Copy

No comments:

Post a Comment